විතානකන්ද තේ කිලෝවක් රුපියල් 252,500 කට අලෙවි වෙයි


නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී පුබුදු ගුණසේකර

 

  • නව ගිනස් ලෝක වාර්තාවක්

විමුක්ති එස්. රුද්‍රිගු

ශ්‍රී ලංකාවේ තේ සන්නාමය ගෝලීයව තවත් ඉහළට ගෙන යමින් ලෝක ඉතිහාසයේ තේ කිලෝවක් අලෙවි වූ ඉහළම මිල වාර්තා කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවට පසුගිය දා හැකියාව ලැබුණි.

ජපානයේ ඔසාකා නුවර පැවති තේ වෙන්දේසියකදී ප්‍රිමියම් සිලෝන් බ්ලැක් ටී තේ කිලෝග්‍රෑමයක් රුපියල් 252,500 කට අලෙවි කරමින් නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාව මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇත. නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාව ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා තේ සඳහා ලෝකයේ තිබෙන ඉල්ලු‍ම මනාව පිළිබිඹු කරන බව පාර්ශ්වකරුවෝ ප්‍රකාශ කළහ.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාව ප්‍රකාශ කර සිටියේ සිය ජයග්‍රහණයේ ප්‍රධානම කොටස්කරුවන් තේ දලු සැපයුම්කරුවන්ට සහ කර්මාන්ත ශාලාවට, විවිධ සේවා සපයන්නන්ට සිය ස්තුතිය පිරිනමන බවයි.