වැලිබල් ෆිනෑන්ස් අනාගත ගමනට ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තියක්


  • ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, වැලිබල් ෆිනෑන්ස් සමාගම “A-” (LRA)  ණය ශ්‍රෙ‌්ණිගත කිරීමක් සහ ‘‘A”‍ සන්නාම ශ්‍රේණිගත කිරීමක් හිමිකරගෙන
  • ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම් පහ අතරට පැමිණෙමින් ශක්තිමත් වර්ධන මාවතක
  • කෙටි කාලයක් තුළ රුපියල් බිලියන 100 ක වත්කම් සීමාව ඉක්මවා ගිය වේගවත්ම ආයතනය

වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව

වැලිබල් ෆිනෑන්ස්  (Vallibel Finance) සමාගම සිය හිමිකම් නිකුතුව ((Rights Issue)  හරහා රුපියල් බිලියන 2.1 කට අධික මුදලක් සාර්ථකව රැස් කරගෙන ඇත. නියමිත ප්‍රමාණයට වඩා අධි ඉල්ලු‍මක් (Oversubscribed) මෙම නිකුතුවට ලැබීමෙන් සමාගමේ උපායමාර්ගික දිශානතිය සහ දිගුකාලීන වර්ධන අපේක්ෂා කෙරෙහි ආයෝජකයන් තුළ ඇති දැඩි විශ්වාසය මැනවින් පිළිඹිබු කළේය.

මෙම හිමිකම් නිකුතුව යටතේ රුපියල් 72 බැගින් වූ නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 29,431,675 ක් නිකුත් කරන ලද අතර, එය පවතින කොටස් හිමියන්ට ඔවුන් සතු සෑම කොටස් අටකටම එක බැගින් වන අනුපාතයට පිරිනමන ලදී. හිමිකම් නිකුතුව සඳහා ලැබුණු අතිරික්ත ඉල්ලු‍මෙන් සමාගමේ ප්‍රාග්ධන වර්ධන ක්‍රියාවලියට සහාය වීමට කොටස් හිමියන් දක්වන අඛණ්ඩ විශ්වාසය සහ කැපවීම මනාව පැහැදිලි වෙයි.

මෙම ප්‍රාග්ධන රැස් කිරීමේ ක්‍රියාවලිය උපායමාර්ගිකව සිදු කරන ලද්දේ වැලිබල් ෆිනෑන්ස් හි පළමු පෙළ ප්‍රාග්ධනය (Tier I capital) ශක්තිමත් කිරීමටත්, එමගින් එහි මූල්‍ය පදනම තවදුරටත් තහවුරු කර අනාගත ව්‍යාප්තිය සඳහා ඇති හැකියාව ඉහළ නැංවීමටත්ය. මෙම හිමිකම් නිකුතුව සාර්ථකව අවසන් කිරීමෙන් සමාගමේ නියාමන ප්‍රාග්ධන සංචිත ශක්තිමත් වනු ඇති අතර, ණය ලබාදීමේ ධාරිතාව වැඩිදියුණු වී ගතික මෙහෙයුම් පරිසරයක් තුළ ඔරොත්තු දීමේ හැකියාවද තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සභාපති ධම්මික පෙරේරා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ 2007 වසරේදී යළි ආරම්භ කරන ලද වැලිබල් ෆිනෑන්ස් සමාගම, ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම් පහ අතරට පැමිණෙමින් ශක්තිමත් වර්ධන මාවතක් පෙන්නුම් කර ඇත. හිමිකම් නිකුතුව සඳහා සම්පූර්ණ දායකත්වය ආකර්ෂණය කර ගැනීමට සමාගමට ඇති හැකියාවෙන් එහි පාලන ප්‍රමිති, මෙහෙයුම් කාර්යසාධනය සහ ඉදිරි දැක්මක් සහිත උපායමාර්ගය කෙරෙහි වෙළෙඳපොළ විශ්වාසය මතුකර පෙන්වයි.

ශක්තිමත් කරන ලද ප්‍රාග්ධන පදනම වැලිබල් ෆිනෑන්ස් හි ව්‍යාප්තියට සහාය වන අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ මතුවන නව අවස්ථා ග්‍රහණය කර ගැනීමට මහෝපකාරී වනු ඇත. විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළක් සහ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණයක් සහිතව, තිරසාර වටිනාකමක් ලබා දීම කෙරෙහි සමාගම දිගටම අවධානය යොමු කරයි. එසේම, වසර 17 ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියන 100 ක වත්කම් සීමාව ඉක්මවා ගිය වේගවත්ම ආයතනය බවට පත්වූ වැලිබල් ෆිනෑන්ස්, වසර ගණනාවක් අඛණ්ඩව ‘‘හොඳම මූල්‍ය සමාගම”‍ ලෙස සම්මාන ලැබීම ඇතුළු ජාත්‍යන්තර ඇගයීම් රැසකට ද පාත්‍ර වී ඇත.

හිමිකම් නිකුතුවට ලැබුණු අතිමහත් ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා ප්‍රකාශ කළේ, නියමිත ප්‍රමාණයට වඩා වැඩි ඉල්ලු‍මක් ලැබීමෙන් ආයෝජකයන් තුළ ඇති ප්‍රබල විශ්වාසය තහවුරු වන බවයි. ශ්‍රී ලාංකිකයන්ට සහය වීමේදී සහ ජාතියේ මූල්‍ය සවිබල ගැන්වීමට දායක වීමේදී වැලිබල් ෆිනෑන්ස් දිගු කලක් තිස්සේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

සාර්ථක වූ මෙම හිමිකම් නිකුතුව, සමාගමේ වර්ධනය වෙනුවෙන් වූ කැපවීම ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බව ඔහු වැඩිදුරටත් පැවසීය. ආයෝජකයන් තැබූ විශ්වාසය පිළිබඳව ස්තුතිය පළ කළ රංගමුව මහතා, සිය උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමටත්, සියලු‍ පාර්ශවකරුවන් වෙත තිරසාර දිගුකාලීන වටිනාකමක් ලබා දීමටත් සමාගම නිරන්තරයෙන් අවධානය යොමු කරන බව අවධාරණය කළේය.

ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, වැලිබල් ෆිනෑන්ස් සමාගම  ‘‘A-” (LRA) ණය ශ්‍රේණිගත කිරීමක් සහ ‘‘A”‍ සන්නාම ශ්‍රේණිගත කිරීමක් හිමිකරගෙන ඇත. මෙය එහි ස්ථාවරත්වය, යහපාලනය සහ දිගුකාලීන උපායමාර්ගික අවධානය පිළිබිඹු කරන්නකි. මෙම ශ්‍රේණිගත කිරීම් මගින් ආයෝජක විශ්වාසය සහ මූල්‍ය අංශය තුළ සමාගම සතු විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වේ.

ශක්තිමත් කරන ලද ප්‍රාග්ධන පදනමක සහය, ශක්තිමත් පාලන රාමුවක් සහ පැහැදිලි උපායමාර්ගික දැක්මක් සහිතව, වැලිබල් ෆිනෑන්ස් සිය වර්ධන වේගය පවත්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ සංවර්ධනයට අර්ථාන්විත ලෙස දායක වීමට මනා ලෙස සූදානම් වී සිටියි.