ව්‍යාපාරික සාර්ථක රහස සාධාරණ අවම ලාබයයි


 

  • මැටි නිෂ්පාදනවල කලාත්මක ස්වභාවය නැතිවීම එය කර්මාන්තයක් ලෙස බිඳවැටීමට හේතුවක්
  • සාධාරණ අවම ලාබයකින් පාරිභෝගිකයා දිනාගැනීම ව්‍යාපාරික සාර්ථකත්වයේ රහස
  • ගෑස් වළං නිෂ්පාදනයට අලු‍ත් අදහසක් ඔහුගෙන්
  • පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමට විවිධ නිෂ්පාදන අවශ්‍යයි
  • විවිධ අත්කම් නිෂ්පාදන එක තැනකින් අලෙවිවීමත් ව්‍යාපාරයේ දියුණුවට හේතුවෙලා

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග


දුෂ්කරතා මැද මැටි වළඳෙන් ජීවිතය ගොඩනගන අපුරු මිනිසකු අනුරාධපුර, රත්මලේ ප්‍රදේශයේ දී අපට මුණගැසිනි. ඔහු නමින් ප්‍රියන්ත රෝහණය. අනුරාධපුර නගරයත්, ශ්‍රාවස්තිපුර කුඩා නගරයත් අතර රත්මලේ ගම්මැද්දට යාබද ඇල්ල මාර්ගය පසෙකට වී ඔහු මෙසේ ජීවිත සටන ගෙනයයි. ජීවිතයේ විවිධ දුෂ්කර අවධි පසුකර විත් වර්තමානයේ විචිධ මැටි ආශ්‍රිත නිෂ්පාදන සපිරි ව්‍යපාරයක හිමිකරුවා වීමට ඔහුට හැකිව තිබේ. විවිධ මාදිලියේ මැටි නිෂ්පාදන කර්මාන්තකරුවන් ලවා නිෂ්පාදනය කර අලෙවියට තැබීම ඔහුගේ කලාව වී තිබේ. ගෑස් ළිප්වල ආහාර පිසීමට භාවිත වන ගෑස් වළං විවිධ මාදිලියෙන්, විවිධ ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරවා අනුරාධපුරයට හඳුන්වා දීම කර ඇත්තේ ඔහු විසිනි.

ආහාර පිසීමට අවැසි විවිධ හැඩයෙන් යුතු මැටි වළං, විවිධ සැරසිලි, මුළුතැන්ගෙට, ආලින්දයට අවැසි විචිත්‍රවත් මැටි බඳුන්, ගෙවත්තට අවැසි මල් බඳුන්, විවිධ පූජා භාණ්ඩ ආදියෙන් ඔහුගේ “මැටි වළං” අංගනය පිරී තිබේ. ප්‍රියන්ත ඔහු ආ ගමන් මග පිළිබදව මෙසේ කරුණු කීවේය.

“ජීවිතේ ගොඩක්ම අමාරු කාලෙක තමයි මේ වළං වෙළෙඳාම ගැන අදහස මගේ ඔලු‍වට ආවේ. ඒක ලේසි වැඩක් වුණේ නෑ. මැටි වළං හැමතැනම විකුණන්න තියෙනවා. මොනවා හරි අලු‍ත් දෙයක් කෙරුවොත් මිනිස්සු ගෙන්න ගන්න පුළුවන් කියලා හිතුනා. පස්සේ මං ඔය වළං හදන ගම්මාන හොයාගෙන ගල්ගමුව, නිකවැරටිය, පඩුවස්නුවර වගේ පැතිවලට ගියා. වළං හදන කට්ටිය මුණගැහිලා මට ඕන විදිහට එක එක හැඬේ වළං හදව ගන්න පටන් ගත්තා. ගෑස් වළං නිකං ළිපේ උයන වළංවලට වඩා තුනී වෙන්න ඕන කියලා මට තේරුණා. එහෙම ගොඩක් තුනීවට වළං හදන්න ගියොත් පුපුරන්න බලනවා කියලා වළං හදන කට්ටිය කිව්වා. එතකොට මං කිව්වා පස් එක වතාවක්, දෙපාරක් නෙමෙයි තුන් වතාවක් විතර හළල ගත්තොත් පුපුරණ එකක් නෑ කියලා. ඇත්තටම වැඬේ හරි ගියා.” 

ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තය සමග විවිධ හස්ත කර්මාන්ත ද සමාන්තරව මනා සහ සම්බන්ධතාවකින් පැවති බව නොරහසකි. බොහෝ විට සිය නිෂ්පාදන කැටයම් හෝ චිත්‍ර මගින් අලංකාර කිරීමට එම ශිල්පීහු අමතක නොකළහ. එහෙත් කාලානුරූපව මේ සෞන්දර්යාත්මක ගුණය පිරිහීම වළං කර්මාන්තයේ බිඳවැටීමට හේතුවි ඇති බව ප්‍රියන්තගේ අදහස වේ. ඔහු ඒ පිළිබදව පැවසුයේ මෙවැනි කරුණුය. 

“දැන් කාලේ නිකන්ම මැටි වළඳක් හැදුවට ඒකෙන් මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගන්න බෑ. මිනිස්සු ලාබය ගැන විතරක් හිතන්න ගත්තට පස්සේ වළංවල තිබුණු අලංකාරය නැතිවුණා. මැටි වළං කිව්වහම උයන පිහන වළං විතරයි මිනිස්සුන්ට මතක් වුණේ. එතැනින් එහා දෙයක් නෑ. මට ඕන වුණේ මේ ක්‍රමය වෙනස් කරන්න. දැන් ඒක ටික ටික හරියාගෙන එනවා. තාම අපිට ලොකු ආදායමක් නෑ. ඒත් මිනිස්සුන්ට මෙච්චර අමාරු කාලෙත් මෙතැනට එනවා. මම බලන්නේ අඩු ලාබයකින් වැඩි වෙළෙඳාමක් කරන්න.” 

මැටි නිෂ්පාදන හැරුණු විට විවිධ අත්කම් නිර්මාණද අලෙවියට තැබීමට ප්‍රියන්ත වග බලාගෙන තිබේ. වේවැල් නිෂ්පාදන, පොල් කටු නිෂ්පාදන, තල් කොළ නිෂ්පාදන ආදිය ඒ අතර වේ. සේවකයෝ කිහිපදෙනෙක් ද ඔහු සමග මේ භූමියෙහි දවස ගෙවති. ප්‍රියන්ත සිය සේවකයන් අරබයා අනුගමනය කරනුයේ වෙනස්ම ආකාරයේ පිළිවෙතකි. විවිධ දුෂ්කරතා මධ්‍යයේ අත්කම් නිර්මාණකරනයේ යෙදෙන කුඩා නිෂ්පාදකයන්ට අතදීමට ද ඔහු යොමුව ඇත්තේ සිය ව්‍යාපාරයට විවිධාංගිකරණය එක් කරමිනි. 

“මම ළඟ වැඩකරන හැම කෙනකුටම මම කියන්නේ හැමදාම මෙතැන වැඩ කරන්න ඕන් නෑ කියලා. මෙතනින් වැඩ ඉගෙන ගෙන ගිහිල්ලා ඒ අයටත් පුළුවන් විදියට පොඩියට හරි තමන්ටම වළං කඩයක් පටන් ගන්න පුළුවන්. මම ඒවට උදව් කරනවා. අනිත් එක මේ ගම්වල ඉන්නවා පොඩි පොඩි අත්කම් නිර්මාණ කරන අය. ගොඩක් වෙලාවට ඒ ගොල්ලන්ට වෙලා තියෙන්නේ වෙළෙඳපොළක් නැතිකම. එහෙම නිෂ්පාදන ඕනෑම වෙලාවක සල්ලි දීලා ගන්න මම ලෑස්තියි. එහෙම ගෙනාපු පොල්කටු නිෂ්පාදන, තල්කොළ නිෂ්පාදන, වේවැල් නිෂ්පාදන වගේ දේවල් මම මෙතැන තියලා තියෙනවා. මෙතැනට මිනිස්සු එන්න තවත් එක හේතුවක් ඒක.”