විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය අගෝස්තු මාසයේදී සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශකාංක 68.9 ක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය වාර්තා කළ දර්ශකාංක අගයට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. මෙම වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉහළ ගිය බවත් බොහෝ අංශවල සිදුවූ වර්ධනය ඊට හේතු වී ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.
එහිදී තොග සහ සිල්ලර වෙළෙඳාම, අනෙකුත් පෞද්ගලික සේවා, සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම මධ්‍යයේ නවාතැන් පහසුකම් සහ ආහාර පාන සේවා යන අංශවල වාර්තා වූ ශක්තිමත් ක්‍රියාකාරීත්වය මෙම ඉහළ යෑමට හේතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
තවද ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වී තිබෙන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය. එසේම ප්‍රධාන වශයෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම මෙන්ම මූල්‍ය සේවා යන අංශවල සිදුවූ වර්ධනයන් සමග පසුගිය අගෝස්තු මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යාමක් දක්නට ලැබී තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය.
පසුගිය අගෝස්තු මාසයේදී නව ව්‍යාපාර දර්ශකාංක 66.8 ක අගයක් ගෙන තිබෙන බවත් එය වැඩි වේගයකින් ඉහළ යෑමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. එහිදී සේවා නියුක්තිය අඩු වේගයකින් ඉහළ යමින් දර්ශකාංක 57 ක අගයක් වාර්තා කර තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය. කෙසේ නමුත් නිම කිරීමට නියමිත කාර්යයන් ඉහළ යෑමක සිට පහළ යෑමක් වාර්තා කරමින් දර්ශකාංක 49.4 ක අගයක් වාර්තා කරන තිබෙන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
එසේම අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩු වේගයකින් ඉහළ යමින් දර්ශකාංක 79.3 ක අගයක් වාර්තා කර තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය.