වසරේ පළමු භාගයේ වෙළඳ හිඟය ඩො .බි .3.3 ක්


 

  • මෙම වසරේ මෙතෙක් ජංගම ගිණුමේ අතිරික්තයේ සියයට 30.2 ක වර්ධනයක්
  • පළමු මාස 6 තුළදී වෙළෙඳ භාණ්ඩ හා සේවා ඇතුළුව මුළු අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 10.1 ක්
  • වසරේ පළමු භාගයේදී අපනයන ආදායම ඩො. බි.6.5 ක්
  • මෙරට ආනයන වියදම මෙම වසරේ පළමු භාගයේදී ඩොලර් බිලියන 9.8 ක්
  • අපනයනවලට වඩා ආනයනවල ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වෙලා
  • සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම් ඩොලර් බිලියන 2.1 ක්

විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය ජූනි මාසයේදී වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වියදම් කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 163 ක් බවත් පළමු භාගය සඳහා මුළු වාහන ආනයන ඩොලර් මිලියන 475 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු මාස 6 තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් පළමු භාගයේදී ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් ලෙස වාර්තා වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ පළමු භාගයේදී ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක් බවත් ඊට සාපේක්ෂව මෙම වසරේ ජංගම ගිණුමේ අතිරික්තය සියයට 30.2 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද එම දත්ත වාර්තා අනාවරණය කළේය. එසේම පසුගිය මාසයේ මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 187.7ක් බවත් එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 4.8 ක පහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු මාස හයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා ඇතුළුව මුළු අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10.1ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 6.8 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. පසුගිය වසරේ පළමු භාගයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා ඇතුළුව මුළු අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 ක් විය.

මෙරට අපනයන ආදායම මෙම වසරේ පළමු භාගයේදී ඩොලර් බිලියන 6.5 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 5.7 ක වර්ධනයක් බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු භාගයේදී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 6.1 විය.

පසුගිය ජූනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.1 ලෙස සටහන් වූ අතර එයද පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 6 ක වර්ධනයකි.

මෙරට ආනයන වියදම මෙම වසරේ පළමු භාගයේදී ඩොලර් බිලියන 9.8 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 12.4 ක වර්ධනයක් බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු භාගයේදී මෙරට ආනයන වියදම ඩොලර් බිලියන 8.7 ක විය.

පසුගිය මාසයේදී මෙරට ආනයන වියදම ඩොලර් බිලියන 1.7 ක් ලෙස සටහන් වූ අතර එයද 2024 වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 16.3 වර්ධනයක් බව මහ බැංකුව පැවැසුවේය.

කෙසේ නමුත් 2024 වසරේ ජූනි මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී අපනයනවලට වඩා ආනයනවල ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වී තිබෙන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙරට වෙළෙඳ හිඟය මෙම වසරේ පළමු භාගයේදී ඩොලර් බිලියන 3.3 ක් ලෙස සටහන් වූ අතර පසුගිය වසරේ පළමු භාගයේදී එය ඩොලර් බිලියන 2.5 ක් විය. එසේම පසුගිය ජූනි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 540 ක් වූවේය.

පසුගිය ජූනි මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු භාගයේදීද ඇමෙරිකාව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය මෙරට ප්‍රමුඛ අපනයන ගමනාන්ත වූ බවත් චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට ප්‍රමුඛ ආනයන වෙළෙඳපොළවල් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

අපනයන මෙන්ම ආනයන මිල ගණන් පසුගිය ජූනි මාසයේදී පහළ ගිය නමුත් අපනයන මිල ගණන් පහත වැටීමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් පහත වැටීම නිසා මාසය තුළ වෙළෙඳ මිල අනුපාතය ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

මෙම වසරේ පළමු භාගයේදී සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක් ලෙස වාර්තා වන බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 8.1 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ පළමු භාගයේදී සේවා අංශයට වූ ශුද්ධ ලැබීම් ඩොලර් බිලියන 1.9 ක් වූ බවද එම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම මෙම වසරේ පළමු භාගයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් එය ස්ථාවර ඉහළ යෑමක් පෙන්නුම් කිරීමක් මෙන්ම පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 10 ක වර්ධනයක් බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු භාගයේදී සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.5 ක් විය.

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස 6දී මෙරටට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 3.7 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගය තුළ මෙරටට එවූ ඩොලර් බිලියන 3.1 ට සාපේක්ෂව සියයට 18.9 ක වර්ධනයක් බවත් මහ බැංකුව පැවැසුවේය.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන මෙම වසරේ පළමු භාගය තුළදී ඩොලර් මිලියන 90 ක ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇති බවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ඩොලර් මිලියන 39 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.

එසේම පසුගිය ජූනි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 ක් ලෙස වාර්තා වන බවත් එය චීනය මෙරටට ලබාදුන් විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වන බවත් මහ බැංකුව පැවැසුවේය. එසේම පසුගිය වසර අවසානයේ සිට ජූලි මාසය අවසානය දක්වා කාලය තුළදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.2 කින් අවප්‍රමාණය වී තිබෙන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.