වසර හතරකදී රක්ෂණ ක්ෂේත්‍රයේ සියයට 54.6ක වර්ධනයක්


භානුක අමරසිංහ


මෙරට රක්ෂණ ක්ෂේත්‍රය පසුගිය වසර හතරක කාලයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි. 2020 සිට 2024 දක්වා කාලය තුළ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් නිකුත් කළ ආසන්නතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ. 
මෙහිදී 2024 වසරේදී රක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තා කළ සමස්ත දළ ලිඛිත වාරික ආදායම (GWP) රුපියල් මිලියන 322,037ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2020 වසරේදී වාර්තා කළ රුපියල් මිලියන 208,265 හා සැසඳීමේදී සියයට 54.6ක වර්ධනයකි. 
ඒ අනුව කොවිඩ්-19 වසංගතය සහ 2022 ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව එම ක්ෂේත්‍රය මේ වනවිට කැපී පෙනෙන ස්ථාවරත්වයකට පත්වෙමින් තිබෙන බව මෙම කාර්ය මසාධනය මගින් පෙන්නුම් කරන බවත් රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙහිදී ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ එම දළ ලිඛිත වාරික ආදායම 2020 දී වාර්තා කළ රුපියල් මිලියන 103,000 සිට 2024 දී රුපියල් මිලියන 183,875ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව මෙය එම ක්ෂේත්‍රයේ ක්‍රමික වර්ධනය මෙන්ම රක්ෂණහිමිකරුවන් අතර දිගුකාලීන මූල්‍ය සුරක්ෂිතතාව කෙරෙහි වන උනන්දුවද පෙන්නුම් කරන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර වසර 2020 සිට 2024 දක්වා කාලසීමාවේදී සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ දළ ලිඛිත වාරික ආදායමද රුපියල් මිලියන 105,265 සිට රුපියල් මිලියන 138,162ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙම තත්වය රක්ෂණය සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් බවෙහි දියුණුවක් මෙන්ම, රට පුරාම රක්ෂණ සැලසුම් සම්බන්ධයෙන් වන පිළිගැනීම පුළුල් වීමේ අවස්ථාවක් ලෙසද එම කොමිෂන් සභාව සඳහන් කරයි. “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත්වීමේදී මෙම රක්ෂණ ක්ෂේත්‍රය කොතරම් දුරට වැදගත්ද යන්න මෙම වර්ධනය මගින් පෙන්නුම් කරනවා. ඒ වගේම රටෙහි සියලු‍ම ප්‍රජාවන්වෙත රක්ෂණයේ ආවරණය පුළුල් කිරීම සඳහා නවෝත්පාදන සහ නියාමන සහයෝගයේ අවශ්‍යතාවක් පවතිනවා’’ යනුවෙන්ද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.