- නව සංචාරක ඉලක්ක සපුරා ගැනීමට ඉදිරි මාස තුනේදී තවත් සංචාරකයන් 943,084 ක් පැමිණිය යුතුයි.
විමුක්ති එස්.රුද්‍රිගු
මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය ලක්ෂ 26 දක්වා පහළ දමන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පසුගියදා පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.
ඉලක්කය ලක්ෂ 26 දක්වා අඩුකළද එය ඉතිහාසගත අගයක් වනු ඇති බවත් ඉන් සංචාරය කර්මාන්තයේ වර්ධනය මෙන්ම නැවත යථා තත්වය පත්ව ඇති බව පෙන්නුම් කරනු ඇති බවත් ඔහු පැවැසුවේය. සංචාරක කර්මාන්තයේ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා කලාපීය හවුල්කාරීත්වය වැදගත් කාර්යභාර්යයක් ඉටු කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මෙම වසර ආරම්භයේදී සංචාරකයන් ලක්ෂ 30 මෙම වසර තුළදී මෙරටට ගෙන්වා ගැනීමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමටත් සංචාරක කර්මාන්තයේ ඉලක්කය විය.
නව සංචාරක ඉලක්ක සපුරා ගැනීමට ඉදිරි මාස තුනේදී ශ්‍රී ලංකාවට තවත් සංචාරකයන් 943,084 ක පිරිසක් පැමිණිය යුතුව ඇත.