ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජුබිලිය සනිටුහන් කරමින්, ‘EngEx 2025 Powered by SLT-MOBITEL’ ඉංජිනේරු ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් අද (23) සිට 27 වැනි දින දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනය පිළිබඳ SLT-MOBITEL සමාගමේ සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර) ඉංජිනේරු සමන්ත ජයසිංහ සහ EngEx 2025 ප්‍රදර්ශන කමිටුවේ සභාපති/පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සමිත් බුද්ධික යන මහත්වරුන් සමග කළ සාකච්ඡාවකි මේ.
ඉංජිනේරු සමන්ත ජයසිංහ
‘EngEx 2025 powered by SLT-MOBITEL’ ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමට SLT-MOBITEL සමාගමේ සහයෝගය පිළිබිඹු වන්නේ කොහොම ද ?
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL අපි මේ වන විට ලෝකයේ භාවිත වන නවීනතම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරනවා. එම නිසාම නිරන්තරයෙන් නවෝත්පාදන දිරි ගැන්වීමේ අරමුණින් අපි විශ්වවිද්‍යාල සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. ඒ වගේම අපට අවශ්‍ය පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන හඳුනා ගැනීමේ ප්‍රධානතම අවස්ථාවක් විදියට විශ්වවිද්‍යාල මගින් සංවිධානය කෙරෙන මෙවැනි ප්‍රදර්ශන හඳුන්වා දීමට පුළුවන්.
රට තුළ නවෝත්පාදන සහ පර්යේෂණ ක්‍රියාවලිය වේගවත් කිරීමට උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය ක්ෂේත්‍ර අතර සහයෝගිතාව වැදගත් වන්නේ කොහොම ද ?
ඉංජිනේරුවෙක් විදියට වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරූ සිසුවෙකු විදියට විශ්ව විද්‍යාල ආශ්‍රිතව විවිධ පර්යේෂණ රාශියක් සිදු කෙරෙන බවත්, අදාළ පර්යේෂණ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කොතරම් ප්‍රශස්ත වුවත්, ඒවා පර්යේෂණ පත්‍රිකාවට පමණක් සීමා වන බවත් මා ප්‍රායෝගිකව අත්දැක තිබෙනවා.
SLT-MOBITEL සතුව පවතින අති නවීන තාක්ෂණික ක්‍රමවේද විශ්වවිද්‍යාල සමග සහයෝගිතා ගොඩනගා ගැනීමට නව අවස්ථා නිර්මාණය කර දෙන්නේ කොහොම ද?
නවීන තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කරන විට lot වැනි සේවා අනාගතයේ දී වඩාත් ප්‍රචලිත වනු ඇතැයි අපට අනුමාන කළ හැකියි. ඒ වගේම වර්තමානය වන විට 5G, AI සහ IoT වැනි නවීන තාක්ෂණික සේවා අපි ආයතනික වශයෙන් භාවිත කරනවා. එහෙත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් මෙම සේවා න්‍යායාත්මකව හැදෑරීමක් සිදු කළත්, එම සේවා ප්‍රායෝගිකව භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට මෙම නව තාක්ෂණික ක්‍රමවේද ප්‍රායෝගිකව භාවිත කිරීමේ අවස්ථාව සහ සහයෝගය ලබා දීමට SLT-MOBITEL සමාගමට හැකියාව තිබෙනවා.
අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීම සම්බන්ධයෙන් SLT-MOBITEL සමාගමේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට මෙම ප්‍රදර්ශනය වැදගත් වන්නේ කොහොම ද ?
ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීම විශාල ආර්ථික පෙරළියක්. එය රජයේත් ප්‍රධාන ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවිය හැකි ආයතන තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ අතරින් ප්‍රධානතම ආයතනයක් විදියට SLT-MOBITEL හඳුන්වා දීමට පුළුවන්. එහි දී රටේ සෑම පුද්ගලයකුට ම ඩිජිටල් සබඳතාවක් ලබා ගැනීමේ හැකියාව තිබීම ප්‍රධානයි.
ආචාර්ය සමිත් බුද්ධික
SLT-MOBITEL වැනි ප්‍රමුඛ පෙළේ සමාගමක් සමග සහයෝගිතාවක් ගොඩනගා ගැනීමෙන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ නවෝත්පාදන ක්‍රියාවලිය ශක්තිමත් වන්නේ කොහොම ද?
SLT-MOBITEL සමාගම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අතර ඇති මෙම සබඳතාව වසර ගණනාවක් පැරණියි. මෙම සබඳතාව අපගේ ඉංජිනේරු පීඨයේ පර්යේෂණ හා නවෝත්පාදන අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව පැවසිය යුතුමයි. EngEx ප්‍රදර්ශනය සඳහා SLT-MOBITEL ලබා දෙන සහයෝගය අපට විශාල ශක්තියක්. ඒ වගේම මෙම සහයෝගිතාව අපගේ සිසු සිසුවියන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත් විශාල පන්නරයක් වන බව අවධාරණය කිරීමට කැමැති යි.
පෙර වසරවලට සාපේක්ෂ ව මෙවර ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂත්වය කෙබඳු ද ?
‘ජීවිතය සඳහා ඉංජිනේරු විද්‍යාව‘ යන තේමාව යටතේ ඉංජිනේරු විද්‍යාව අපගේ එදිනෙදා ජීවිතය පහසු කර ගැනීමට භාවිත කළ හැකි ආකාරය පිළිබඳ ඉතා හොඳ දැනුවත්භාවයක් මෙවර ප්‍රදර්ශනයේ දී අපි ලබා දීමට සූදානම්. ඇත්තටම මෙවර ප්‍රදර්ශනයේ දී කලාප සහ අනු තේමා කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් වූ නවෝත්පාදන නිර්මාණ රාශියක් මෙවර ප්‍රදර්ශනයට අන්තර්ගත වී තිබෙනවා. විවිධත්වයෙන් යුත් ක්ෂේත්‍ර ගණනාවක් ආශ්‍රිත ව කෘත්‍රිම බුද්ධිය (AI) සාර්ථකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳවත් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට දැක බලාගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේ ම නවීන හා පුරාණ තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් නිර්මාණය කළ නවෝත්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේ දී නැරඹීමට අවස්ථාව ලබා දීමට අපි සූදානම්.