ලංකාවේ අස්ථාවර ප්‍රතිපත්ති සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීමට බාධාවක්


ආයෝජකයන්ට අවශ්‍ය සියලු‍ම අනුමැතීන් එකම තැනකින් ලබාදීමට එම මණ්ඩලය අපොහොසත්

අනවශ්‍ය රෙගුලාසි, නීතිමය අවිනිශ්චිතතාව සහ ප්‍රතිචාර දැක්වීමේදී නිලධාරීන් දක්වන දුර්වලතාව ආයෝජකයන්ට තිබෙන අනෙකුත් බාධායි

ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම, අනපේක්ෂිත ප්‍රතිපත්ති සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැති වීමත් ප්‍රශ්නයක්

ආර්ථික පරිවර්තන පනත මගින් ආයෝජන මණ්ඩලය අහෝසි කර නව ආයතන පහක්

ජාතික ජන බලවේග රජය ලබාදෙන මිශ්‍ර සංඥා හේතුවෙන් බොහෝ ආයෝජකයන්ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැලිකමක්


විමුක්ති එස්.රුද්‍රිගු


ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති අස්ථාවර ප්‍රතිපත්ති සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීම සඳහා බාධාවක් වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. 

මෙරට ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන ආයෝජන මණ්ඩලයේ අධිකාරීමය බලය දෙපාර්තමේන්තු කීපයක් අතර බෙදී ගොස් තිබෙන බැවින් ආයෝජකයන්ට අවශ්‍ය සියලු‍ම අනුමැතීන් එකම තැනකින් ලබාදීමට එම මණ්ඩලය අපොහොසත් වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

සියලු‍ අනුමැතීන් එකම තැනකින් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් ආයෝජනයක් සඳහා අනුමැතියක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බවත් ඒ හේතුවෙන් ආයෝජකයන් අධෛර්යවත් වන බවත් එම වාර්තාවේ සඳහන් වේ. ආයෝජන මණ්ඩලය සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීමේදී අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව ආයෝජකයන් වාර්තා කර තිබෙන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අනවශ්‍ය රෙගුලාසි, නීතිමය අවිනිශ්චිතතාව සහ ප්‍රතිචාර දැක්වීමේදී මෙරට නිලධාරීන් දක්වන දුර්වලතාව මෙරට ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයන්ට තිබෙන අනෙකුත් බාධක ලෙස හඳුනාගෙන තිබෙන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය විශේෂයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, පෞද්ගලීකරණය කිරීම ඇණහිටීම, කාර්මික මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය පිරිවැය - ඵලදායී බලශක්ති සැපයුම් සංවර්ධනය කිරීමට බාධා එල්ල කරන බවද  ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ගනුදෙනු කිරීමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම, අනපේක්ෂිත ප්‍රතිපත්ති සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැති වීම පිළිබඳව ආයෝජකයන් වාර්තා කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

03 වැනි පිටුවට...