විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 8 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.01 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
එය පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 3.78 ක් වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. පසුගිය වසරේ පළමු මාස 8 තුළදී ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු බිලියන 1.93 ක් විය.
මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ඩොලර් මිලියන 304.07 වෙළෙඳ භාණ්ඩ අපනයනය කර තිබූ අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 1.03 ක වර්ධනයක් වූවේය.
මෙම වසරේ දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර තිබුණේ ඉන්දියාවට වන අතර ශ්‍රී ලංකාව ඉන් ලැබූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 705.08 ක් විය. එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 22.10 ක සැලකිය යුතු වර්ධනයක් වූවේය. පසුගිය වසරේ පළමු මාස 8 දී ඉන්දියාවට වෙළෙඳ භාණ්ඩ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 577.47 ක් විය.
කෙසේ නමුත් අගෝස්තු මාසයේදී ඉන්දියාවට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන සියයට 5.86 කින් පහළ වැටී තිබිණි. මෙම වසරේ පළමු මාස 8දී තෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර තිබුණේ එක්සත් රාජධානියට වන අතර ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 647.67 ක් විය. පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව එය සියයට 5.56 ක වර්ධනයක් වූවේය. එක්සත් රාජධානියට වෙළෙඳ භාණ්ඩ අපනයනය කිරීමෙන් පසුගිය වසරේ පළමු මාස 8 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 613.56 අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබිණි.