ලංකාව ආර්ථික මාවතේ ඉදිරියට යාමට දුපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි


දශක ගණනවක් ලංකාව එකතැන හිරවීම හේතුවෙන් ආර්ථිකය අතින් දෙවැනි තැන සිටි වියට්නාමය ශ්‍රී ලංකාව පසුකරගෙන ගිහින්

ලෝක බැංකුවේ දුගී රේඛාවට අනුව මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් සියයට 22 ක් දුප්පත් රාජ්‍ය ණය ඉතාමත් ඉහළ 

වීමෙන් ආර්ථික වර්ධනය ඉලක්ක කර ගනිමින් කරන වියදම් සීමා කිරීමට සිදුවෙලා

ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් කළත් 2030 වසර වන තෙක් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 සීමාවේ

අපනයන පදනම පටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළේ හිමි කොටස අහිමිව යාමේ අවදානමක්


විමුක්ති එස් රුද්‍රිගු


මහාචාර්ය සන්ජේ කතූරියා

ශ්‍රී ලංකාව දූපතක් වූවත් ආර්ථික මාවත ඉදිරියට ගෙන යාමට නම් දූපත් මානසිකත්වයෙන් මිදිය යුතු බව මහාචාර්ය සන්ජේ කතූරියා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකාව කෙදිනකවත් දූපතක් ලෙස නොසිතිය යුතු බවද ඔහු පැවැසුවේය.

එක් වරක ශ්‍රී ලංකාව පරිත්‍යාගශීලින්ට හිතකර රටක් ලෙස පැවැති බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක්ද මෙරටට ලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය. එහෙත් දශක ගණනවක් ශ්‍රී ලංකාව එකතැන හිරවීම හේතුවෙන් ආර්ථිකය අතින් දෙවැනි තැන සිටි වියට්නාමය ශ්‍රී ලංකාව පසුකරගෙන ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව 2020 වසරේදී නැවත වතාවක් පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට වැටුණු බවත්, ලෝක බැංකුවේ පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල දුගී රේඛාවට අනුව මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් සියයට 22 ක් දුප්පත්කමින් පෙළෙන බවත් මහාචාර්යවරයා පැවැසුවේය. මෙරට රාජ්‍ය ණය ඉතාමත් ඉහළ බවත්, ඒ හේතුවෙන් ආර්ථික වර්ධනය ඉලක්ක කර ගනිමින් සිදුකරන වියදම් සීමා කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන බවත් කතූරියා මහතා ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යූහගතකරණය ශ්‍රී ලංකාව අවසන් කළත්, 2030 වසර වන තෙක් මෙරට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 සීමාවේ තිබෙනු ඇති බවද මහාචාර්යවරයා පැවැසුවේය.