භානුක අමරසිංහ
මෙරට සංවර්ධනය වෙනුවෙන් අතවශ්‍ය එහෙත් දිගු කාලයක් පුරා ප්‍රමාද වුණු, අතිශය වැදගත් ප්‍රමුඛ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් - ආන්ද්‍රේ ෆ්‍රාන්චේ දැනුවත් කළ බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් බුවනෙකබාහු පෙරේරා ඇතුළු එම මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු හමුවකදී මෙම කරුණු සඳහන් කර තිබේ.
ඒ අනුව සුහුරු යටිතල පහසුකම් යටතේ කුරුණෑගල - දඹුල්ල මාර්ගය ඉදිකිරීම ප්‍රමුඛ ව්‍යාපෘතියක් බවට පත් කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. ඒ හරහා වඩාත් වේගවත් සහ වඩාත් පිරිමැසුම්දායක ප්‍රතිඵල අත්වනු ඇතැයි සඳහන් කෙරී තිබේ. එසේම ඉංග්‍රීසි භාෂාව සහ මෘදු කුසලතා සඳහා පවතින පරතරය අඩු කරමින් තොරතුරු තාක්ෂණික සේවාවන්ගේ හැකියාවන් ඉහළ නංවා ඉහළ වටිනාකමක් සහිත රැකියා උත්පාදනය තවත් කරුණකි.
මේ අතර උපායමාර්ගික අයෝජන කලාප පිහිටුවමින් ආයෝජන උපායමාර්ග ප්‍රථමවත්, ප්‍රවර්ධනය දෙවනුවත් සිදු කිරීමත් මෙහිදී සාකච්ඡා කෙරී ඇත. එසේම සංචාරක කර්මාන්තයේ යථාවත්වීම යටතේ එකිනෙකට සම්බන්ධ වූ ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයක් සහ සංචාරක පැමිණීම් වර්ධනය දරා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් යාවත්කාලීන කිරීමත් මීට ඇතුළත්ව තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ගිගාවොට් 30ත් 50ත් අතර වන සුළං විදුලිබලශක්ති හැකියාව සඳහා වන බාධා ඉවත් කිරීම සඳහා ඊටම වෙන් වූ ආයතනයක් සහ විශේෂඥයන් පත් කරගැනීමත් මෙහිදී සාකච්ඡා කෙරී තිබේ. එසේම ව්‍යාපාර සිදු කිරීම තවදුරටත් පහසු කිරීම සඳහා ජාතික තනි කවුලුව ඇති කිරීම වේගවත් කිරීමත් මෙම සාකච්ඡා වෙත ඇතුළත්ව තිබී ඇත.