භානුක අමරසිංහ
ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන බේස්ලයින් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත්ව තිබූ කොළඹ 09, බේස්ලයින් පාරේ පිහිටි පර්චස් 229.5 ක (අක්කර 1.4 ක) විශාලත්වයකින් යුත් ඉඩම් කොටස් දෙකක් ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමට අලෙවි කළ බව පවසයි.
පසුගිය ජූලි 18 වැනිදා එම ගනුදෙනුවට අදාළ එකඟතාවට පිවිසීම සිදුව ඇති අතර, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.1 ක් වන බව එම සමාගම ඊයේ (21) ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත අනාවරණය කර තිබේ.
ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ඉඩම් කැබලි දෙක එම සමාගම විසින් 2015 වසරේදී මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 330 ක වටිනාකමකටය. ඒ අනුව වසර 10 කට පසුව එය අලෙවි කිරීම හරහා එම සමාගමට සියයට 233 ක ආයෝජන ප්‍රතිලාභයක් (ROI) හිමිව තිබෙන බවත් සමාගම පවසයි.
මෙම භූමියේ කාමර 2 ක් සහ 3 ක් ඇතුළත් නිවාස ඒකක 600 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට බේස්ලයින් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ සැලසුම විය. එහෙත් එය ක්‍රියාත්මක නොවුණි. ඒ අනුව මෙම අලෙවියෙන් පසුව ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම එම භූමියේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් කිරීමට නියමිතව තිබේ.
මෙහිදී එම සමාගම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමගින් ඇති කරගත් එකඟතාව යටතේ ගනුදෙනුවේ වටිනාකමින් රුපියල් මිලියන 500 ක මුදලක් අදාළ ඔප්පු හුවමාරුව සිදුවන අවස්ථාවේදී ගෙවීමට එකඟ වී ඇතැයි පවසයි. ඉතිරි රුපියල් මිලියන 600 ක වටිනාකම සඳහා එම නිවාස ව්‍යාපෘතියේ ඉහළ මහල් හි පිහිටි වර්ගඅඩි 19,950 ක විශාලත්වයක් ගන්නා නිදන කාමර දෙකක/තුනක නිවාස ඒකක ලබාදීමට මෙම එකඟතාවේදී දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබේ.