ලංකා බැංකුව අභිමානවත් 86 වැනි සංවත්සරය සමරයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව, 1939 අගෝස්තු 1 වැනි දින ආරම්භ වූ අතර, එතැන් පටන් අද දක්වා වසර 86ක් පුරා රට ආර්ථික හා සාමාජීය වශයෙන් බල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. 

පසුගිය දශක අට තුළ, රට පුරා මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන්ට සේවය කරන පුළුල් ජාලයක් සමඟ සිය පැවැත්ම තහවුරු කර ගත් ලංකා බැංකුව, ජාත්‍යන්තර වශයෙන් පවා පුළුල් ව්‍යාප්තියක් සනිටුහන් කරමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විශ්වසනීය මූල්‍ය සේවා සපයන්නා බවට පත් වීමට සමත් වී ඇත.

ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟින් සිය 86 වැනි සංවත්සරය සමරන ලංකා බැංකුව, 2024 සඳහා රුපියල් බිලියන 106.9 ක ලාබයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළ ම ලාභය වේ. මෙම වර්ධනය 2025 වසර දක්වාම පවත්වා ගෙන ඒමට සමත් වූ  ලංකා බැංකුව, 2025 වසරේ පළමු කාර්තුව අවසන් වන විට රු. බිලියන 30 ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත් විය.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙසේ පැවසුවේය. “ 86 වසරක ජාතික මෙහෙවර සමරන මේ මොහොතේ, මූල්‍ය සහකරුවකු ලෙස පරම්පරා ගණනාවක ජනතා විශ්වාසය දිනා ගැනීමට හැකි වීම පිළිබඳව මා සිහිපත් කරන්නේ ඉමහත් සතුටින්. අපගේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව, නවෝත්පාදනය සහ සමස්ත ආර්ථිකය බල ගැන්වීම මත බව අවධාරණය කිරීමට කැමැතියි. අනාගතය දෙස බලමින් ක්‍රියාත්මක වන විට අපි අඛණ්ඩ වර්ධනය, ඩිජිටල්කරණය සහ ප්‍රශස්ත මෙහෙයුම් ක්‍රියාවලිය යන අංශ ආශ්‍රිත ව ඉහළම ප්‍රමිති ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පැවසීමට කැමැතියි. අතීතයේ, වර්තමානයේ වගේම අනාගතයේදීත් ජාතියේ බැංකුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම ඇත්ත වශයෙන්ම ආඩම්බරයක්.” 

”‍ලංකා බැංකුවේ මෙම ජයග්‍රහණ සියල්ලට අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන් අප කෙරෙහි තැබූ විශ්වාසය මහත් ශක්තියක්. ඒ වගේ ම සමස්ත කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීම අපගේ සාර්ථකත්වයේ ප්‍රධානතම බලවේගය බව පැවසිය යුතුමයි. ඔවුන් සෑම දෙනාටම මගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” 

“අපගේ ජාතික කාර්යභාරය ඉටු කිරීමට මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතව සිදුවන වෙනස්කම්වලට විශ්වාසයෙන් හා සාර්ථකව මුහුණ දීමට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සහයෝගය ස්තූති පූර්වක ව සිහිපත් කිරීමට කැමැතියි.”‍ 

රටේ ආර්ථික ඉතිහාසයේ වඩාත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයකින් පසුව, රට සහ බිඳ වැටුණු ව්‍යාපාර යථා තත්වයට පත් කරමින් වර්ධනය කරා ගෙන යාමට ලංකා බැංකුව නායකත්වය ගෙන කටයුතු කරන අතර, ඒ වෙනුවෙන් ලංකා බැංකුව ආරම්භ කළ ව්‍යාපාර පුනර්ජීවන හා ප්‍රතිස්ථාපන ඒකකය (BRRU) සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහයෝගය ලබා දෙමින්, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ව්‍යයවසායක අදහස් ව්‍යවසාය බවට පත් කිරීමට මෙන් ම කාන්තා ව්‍යවසායකයන්ට මූල්‍ය සහයෝගය ලබා දීමට ද ලංකා බැංකුව කටයුතු කරන්නේ සිය ජාතික මෙහෙවර තව තවත් පුළුල් කරමිනි. 

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා විවිධ වූ නව ක්‍රමවේද හඳුන්වා දෙමින්, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද ශක්තිය ලබා දෙන ලංකා බැංකුව, ගොවියන්ට සහ අපනයනකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙමින් ඵලදායිතාව, ගුණාත්මකභාවය හා තරගකාරිත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් සමන්විත ඩ්‍රෝන තාක්ෂණය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීමට ලංකා බැංකුව කටයුතු කිරීම පිළිබඳව ද සිහිපත් කළ යුතුමය.

නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය ලංකා බැංකුවේ ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වූ අතර, ඊට සමගාමීව හඳුන්වා දුන්  BOC SmartRemit ජංගම යෙදුම හරහා විදෙස්ගත ලාංකිකයන්ට  සරල, කාර්යක්ෂම මෙන්ම ආරක්ෂිත ප්‍රේෂණ සේවාවක් ලබා දීමට ලංකා බැංකුව සමත් විය. මෙම සේවාවේ විශ්වසනීය බව තහවුරු කරමින්, විදේශ ප්‍රේෂණ ක්ෂේත්‍රයේ වැඩිම වෙළෙඳපොළ කොටස තමා සතු කර ගැනීමට ලංකා බැංකුව සමත් විය.

ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ ප්‍රථම වතාවට දිරාපත් වන ඩෙබිට් කාඩ් පතක් හඳුන්වා දෙමින්, පාරිසරික තිරසාර භාවය වෙනුවෙන් සිය කැපවීම පිළිබිඹු කළ ලංකා බැංකුව, පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් තවත් බොහෝ පියවර ගෙන ඇති බව ද සඳහන් කළ යුතුම කරුණකි. 

වර්තමානය වන විට, රටවල් හතරක ක්‍රියාත්මක වෙමින් සිය ගෝලීය ව්‍යාප්තිය ශක්තිමත් කර ගැනීමට සමත් වී ඇති එකම ශ්‍රී ලාංකේය බැංකුව, ලංකා බැංකුව වන අතර, අර්බුදකාරී කාල වකවානුවල පවා සිය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, ගනුදෙනුකරුවන් වෙත සේවා ලබා දීමට මෙන්ම ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලංකා බැංකුව කටයුතු කිරීම ප්‍රශංසනීය වේ.   

මෙහි දී අදහස් දක්වමින් මහා කළමනාකරු/ ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය, ”‍රටේ අභියෝගාත්මක කාල වකවානුව තුළ පවා විශ්වසනීය හවුල්කරුවකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ ජාතික ආර්ථිකයේ වර්ධනයට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්නා. සියලු‍ අභියෝග වෙත අවධානය යොමු කරමින් අපි ක්‍රියාත්මක වුණා. මෙම තත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, වර්ධනීය ඉලක්ක කරා තවත් ශක්තිමත් ලෙස ගමන් කිරීම සහ ලංකාව තුළ නවීන තාක්ෂණික සේවාවලින් සමන්විත, විශ්වසනීය මූල්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”‍

වසර 86 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂී මෙහෙවරක නිරතව සිටින ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත 660ක් වූ ශාඛා ඇතුළුව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2025 වසරේ ලොව හොඳම බැංකු 1000 අතරට නම් කෙරුණු ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021, 2023 හා 2024 වසරවල ‘වසරේ බැංකු කරු‘ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. 

ඊට අමතර ව 2025 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, තවත් දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත. ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.