ලංකා අශෝක් ලේලන්ඩ් SWITCH විදුලි බස් රථ මෙරටට හඳුන්වාදීමේ සැලසුමක


  • බලධාරීන්ගේ අනුමතිය සහ වෙළෙඳපොළ සූදානම්වීම මත කටයුතු සිදු වන බව පවසයි 
  • දැනටමත් Switch EiV12

– Standard, Switch EiV9

– Standard, Switch EiV12

– Low Floor Switch  

EiV22 මාදිලි නිපදවලා 


 භානුක අමරසිංහ 


ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම සිය මවු සමාගම වන ඉන්දියාවේ අශෝක් ලේලන්ඞ් සමාගම මගින් නිෂ්පාදනය කරන SWITCH සන්නාමයේ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට සූදානමින් සිටින බව පවසයි. 

මේ සඳහා වන නියාමන ආයතනවල අනුමැති සහ වෙළෙඳපොළ සූදානම්වීමත් සමගින් එම පියවරට යොමු වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් මහතා 2024/25 වසර සඳහා වන සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් පවසා තිබේ. 

“අපගේ SWITCH සන්නාමය යටතේ වන විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මාදිලි සියල්ලක්ම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වාදීමේ සැලසුමක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එහිදී නියාමන අනුමැතීන් සහ වෙළෙඳපොළ ඊට සූදානම්වීම යනාදිය ඒ සඳහා මූලිකව බලපානවා.” යනුවෙන් ඔහු පවසා තිබේ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය විද්‍යුත්කරණය කිරීම සඳහා වත්මන් රජය සතු අවධානය මෙම මුලපිරීම් සඳහා ඉතාමත් හොඳ විශ්වාසදායක බවක් නිර්මාණයට හේතු වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි. 

මේ අතර කොළඹ නගරය ආශ්‍රිතව විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවා ආරම්භ කිරීමට 2018 වසරේ සිට පැවැති ආණ්ඩු කිහිපයක් යටතේ කැබිනට් මණ්ඩල අනුමැති ලැබුණද මෙතෙක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී නැත. 

ඉන්දියාවේ හින්දුජා සමූහයට අයත් අශෝක් ලේලන්ඩ් සමාගම සහ බ්‍රිතාන්‍යයේ SWITCH Mobility අතර ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙම SWITCH සන්නාමයේ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ නිපදවීම සිදු කරයි. අද වනවිට witch EiV12 – Standard, Switch EiV9 – Standard, Switch EiV12– Low Floor යන තනි තට්ටුවේ බස් රථ මාදිලි සහ Switch EiV22 යන තට්ටු දෙකෙහි බස් රථ නිපදවීම සිදු කරයි.