- දැන් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය රඳා පවතින්නේ හික්කඩුවේ සීමිත පිරිසක් සහ ඔවුන් සමග හිත මිතුරුකම් පවත්වන රුසියානු සංචාරකයන් පිරිසක් අතේය
- මේ රුසියානු සංචාරකයෝ ආගමන, විගමන නීතිරීති සියල්ලම අමු අමුවේ උල්ලංඝනය කරති
- හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වූ දහස් ගණනක් මහ පාරට වැටෙන තත්වයක්
- රුසියානුවන් හික්කඩුවෙන් විලා කුලී පදනම මත අරගෙන ගාණක් තියාගෙන මේ සංචාරකයන්ට දෙනවා
- රජයට බදු ගෙවාගෙන ඉන්න අපේ හෝටල් හිමියන්ට හුළං
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
මේ රටේ ආර්ථිකය මේ තරමින්වත් තිබෙන්නේ කර්මාන්ත කිහිපයක් නිසාය. එම කර්මාන්ත සංඛ්‍යාව දෑතේ ඇඟිලි ගණනටත් අඩු යැයි පැවසුවහොත් එය මුසාවක් නොවේ. රටේ ආර්ථිකයට බලපාන කර්මාන්ත අතරින් සංචාරක කර්මාන්තයට හිමිවන තැන ඉහළය. ඒ නිසාම අපිට අපේ රටට සංචාරක කර්මාන්තය අතිශයින්ම වැදගත්ය. යම් හෙයකින් සංචාරක කර්මාන්තය පහළට වැටුණොත් අපේ රටට දෙවියන්ගේම පිහිටය. මේ කියන්න යන්නේ අපේ සංචාරක කර්මාන්තයේ කඩා ඉහිරීමක් ගැනය. සංචාරකයන් අපේ රටට ලක්ෂ ගණනින් පැමිණියත් අපේ රටටවත් අපේ අයටවත් වගතුවක් නොවන සංචාරක ව්‍යාපාරයක් පිළිබඳව අනාවරණයක්ය.
මෙරට සංචාරක කලාප අතරින් හික්කඩුව ප්‍රසිද්ධම සංචාරක කලාපයකි. ඒ විතරක්ම නොව විදෙස් සංචාරකයන්ගේ මන බැඳගත් සංචාරක පුරවරයකි. එයට හේතු ගණනාවකි. හික්කඩුව වෙරළ තීරයට විදේශිකයන් ප්‍රිය කළේ අද ඊයෙක නම් නොවේ. ඒ නිසාම විදෙස් සංචාරකයන් හික්කඩුවට පැමිණියේ රොතු බුරතු පිටිනි. අදටත් එසේය.
එදා සංචාරයකයන්ගේ හික්කඩු ආගමනයත් එක්ක අපේ රටට පැමිණියේ ඩොලර් මලුය. විශේෂයෙන්ම හික්කඩුවේ හික්කඩුව අංග සම්පුර්ණ සංචාරක පුරවරයක් ලෙස අනුවර්තනය වුණේ ද ඒ සමගමය. අද හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය තිබෙන්නේ නරක තැනකය. මේ නරක තැන සොයා බලා ප්‍රතිකර්ම නොකරන්නේ නම් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය යන්නේ නරකාදියටය.
එදා හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ ආධිපත්‍ය දැරුවේ හික්කඩුවේ මිනිසුන්ය. දැන් නම් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය රඳා පවතිනුයේ හික්කඩුවේ සීමිත පිරිසක් සහ ඔවුන් සමග හිත මිතුරුකම් පවත්වන රුසියානු සංචාරකයන් පිරිසක් අතේය. මේ නිසාම අද හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ නිරතවන අපේ අයගේ බත් පතට වැලි වැටී තිබේ. මෙහි හානිය පාඩුව කිවනොහැකි තරම්ය. මේ රුසියානු සංචාරකයෝ ආගමන, විගමන නීතිරීති සියල්ලම අමු අමුවේ උල්ලංඝණය කරති. ඒ ඔස්සේ ඔවුහු අද හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය සහමුලින්ම නොවනුණත් යම්කිසි ප්‍රමාණයකට අත්පත් කරගෙන සිටිති. මේ ආකාරයට ගියහොත් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය රුසියානුවන්ට සින්න වන දිනය වැඩි ඈතක නම් නොවේ. එසේ වුවහොත් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වූ දහස් ගණනකට හිමිවනුයේ මහ පාරය. ඒ විතරක්ම නොවේ අපේ රටට එන ඩොලර් කන්දරාවම රුසියානුවන් සිය රටට ගෙන යනුයේ දඹුලුත් ගොස් තලගොයිත් මරාගෙන යන ආකාරයටය. සංචාරය සඳහා එන රුසියානුවෝ දැන් හික්කඩුවේ සංචාරක ව්‍යාපාර ද පවත්වාගෙන යති. ඒ නිල නොවන ආකාරයටය. මේ සඳහා අපේ කලු සුද්දන් පිරිසක්ද මේ රුසියානුවන්ට උඩගෙඩි දෙති.
හික්කඩුව සංචාරකයන්ට පහසුකම් සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර ද සිල්වා මෙසේ කීවේය.
අපි ඇන්දේ කෑවේ බිව්වේ සංචාරක ව්‍යාපාරයෙන්. කොටින්ම කියනවනම් අපි සංචාරක ව්‍යාපාරයෙන් තමයි හැමදෙයක්ම කර ගත්තේ. එදා කරගත්තු දේවල් අද කරන්න බැහැ. දැන් නම් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය තියෙන්නේ නරක තැනක. සුද්දෝ හික්කඩුවේම පිරුණත් වැඩක් නැහැ. අපිටත් රටටත් වැඩක් නැත්නම්. එයින් වැඩක් ගන්නේ මේ රටේ සංචාරයට එන පිරිසක් නම් එහෙම සංචාරක ව්‍යාපාරයකින් අපිට ඇති පලේ මොකක්ද.
සුද්දෝ හික්කඩුවේ පාර පුරාම,වෙරළ පුරාම පිරිලා ඉන්න කොට බලන් ඉන්න කෙනකුට හිතෙනවා හික්කඩුවේ සංචාරක කර්මාන්තය හොඳට කෙරෙනවා කියලා. එහෙත් ඇතුලේ තත්වය ඊට වෙනස්ම වෙනස්. දැන් රුසියානුවන් තමයි හික්කඩුවට සංචාරකයන් ගෙන්වන්නේ. ඒඅන්තර්ජාලය ප්‍රයෝජනයට අරගෙන. එහෙත් මේ එන සංචාරකයන්ට නවතැන් පහසුකම් දෙන්නෙත් මේ රුසියානුවන්මයි. ඔවුන් හික්කඩුවෙන් විලා කුලී පදනම මත අරගෙන ගාණක් තියාගෙන මේ සංචාරකයන්ට දෙනවා. එතකොට රජයට බඳු ගෙවාගෙන ඉන්න අපේ හෝටල් හිමියන්ට හුළං තමයි. තමන්ගේ හෝටලයට සුද්දන් ආවත් නාවත් ඒ අය බදු ගෙවන්න ඕන. වතුර, ලයිට් බිල් වගේම සේවක පඩිනඩි ඇතුලු අනෙක් වියදම් දරන්න ඕන. ඒ විතරක්ම නොවෙයි මේ රුසියානු සංචාරකයන් තමයි ඒ එන සංචාරකයන්ට මග පෙන්වන්න යන්නේ. එවිට අපේ සංචාරක මගපෙන්වන්නන්ට රස්සාව නැති වෙනවා.
හික්කඩුව සංචාරකයන්ට පහසුකම් සපයන්නන්ගේ සංගමයේ උප සභාපති එස්.ආර්. නානායක්කාර මෙසේ පැවසීය.
දැන් තියෙන තත්වය උඩ අපිට හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය එපා වෙලයි තියෙන්නේ. සංචාරක රුසියානුවන් මැදිහත් වෙලා ගෙන්වන සංචාරකයාට අවශ්‍ය රටබීම වර්ගද අලෙවි කරන්නෙත් ඒ අයයි. අපේ රටබීම හල්වලට ගිහිල්ලා මේ රුසියානු සංචාරකයන් ඒවා මිලදී ගෙන ඔවුන් සොයා දුන්නු විලා එකේ ලැගුම් අරගෙන සිටින සංචාරකයන්ගේ ළඟටම ගෙනත් දිලා මුදල් ගන්නවා.
එළවළු, පලතුරු කඩවලට ගිහිල්ලා ඒවා මිලදී අරගෙන සංචාරකයන්ට අලෙවි කරනවා. මේ ව්‍යාපාරයේ යෙදෙන සමහර රුසියානුවන්ට මේ රටේ ඉන්න වීසත් නැහැ. ඒවා සොයන්න බලන්න කෙනෙක් නැහැ. මේ නිසා සංචාරකයන්ට අපේ සේවා ස්ථානවලට එන්න ඕන නැහැ. ඔවුන් යන්නේ වැල්ල ඇතුළු සංචාරය කරන්න ඕන තැන්වලට විතරයි. එම ස්ථානය නැරඹීමට යනවිටදී රැගෙන යන්න වතුර බෝතල් දෙන්නෙත් මේ රුසියානුවන්. ඔවුන්ට ආරක්ෂාව වගේම මගපෙන්වීම ඇතුළු අනෙක් පහසුකම් දෙන්නේ මේ රුසියානුවන්. මේක ඉතාම අභාග්‍ය.
ඒ විතරක්ම නෙමෙයි මේ අය කුකුල් මස් වේළලා පැකට් කරලා සංචාරකයන්ට අලෙවි කරන වැඩපිළිවෙළකුත් හදාගෙන තියෙන්නේ. ඒ පැකට් එකේ නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත්වන දිනයක්, නිෂ්පාදනය කළේ කවුද කියලා මොනවත් නැහැ.
එස්.සංදීප මෙසේ කීවේය.
රුසියානු සංචාරකයන් කරගෙන යන මේ අනීතික ක්‍රියා නිසා කවදාහරි බඩේ පහර වදින්නේ මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න අපි වගේ අයටයි. මේ නිසා බඩ ගින්නේ ඉන්න වෙන්නේ අපේ පවුල්වල උදවියටයි. මේ පිරිස සංචාරකයන්ට නොසපයන සේවාවක් නැති තරම්. මේ අය පොළේ යනවා. මාළු මාකර්ට් එකට යනවා. ඒවායින් ඉස්සෝ දැල්ලෝ, මාළු මිලදී අරගෙන සංචාරකයන්ට අවශය විදිහට හදලා ඔවුන් ළඟටම ගෙනත් දෙනවා.
එතකොට අපේ සංචාරක ආයතනවලට සංචාරකයන්ට එන්න වුවමනාවක් නැහැ. මෙහෙම ගියොත් අපි වැඩ කරන ආයතන වහලා ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. ඊට කලින් වැඩපිළිවෙළක් යෙදෙව්වේ නැත්නම් අපේ රස්සාවල් නැති වෙන දවස ඉතාම ළඟයි.
විජිත ගුරුවත්තවිතානගේ මෙසේ කීවේය.
හික්කඩුවේ සංචාරකයන්ට මුදල් මාරු කර දීමට රුසියානු සංචාරකයෝ පුරුදු වෙලා. හික්කඩුවට එන සංචාරකයන්ට විතරක් නෙමෙයි මේ අය මුදල් මාරු කරලා දෙන්නේ. උණවටුන ඉඳලත් සංචාරකයෝ එනවා හික්කඩුවට මේ අයගෙන් මුදල් මාරු කර ගන්න. මේ අය ඉතා සූක්ෂමව මේ වැඩේ කරගෙන යනවා. මේවයෙන් වෙන්නේ අපේ රටේ අයගේ රස්සා නැති වෙන එකයි.
මේවා ඉතිං කාට කියන්නද කියලා අපි දන්නේ නැහැ. රටක නීතියක් තියෙනවනේ. මේ රුසියානු සංචාරකයන් අපේ රටේ නීතිය සතපහකටවත් ගණන් ගන්නේ නැහැ. එයින් වෙන්නේ අපේ රටට එන ඩොලර් පිටරටවලට ඇදීයාමයි.
අශෝක ජයරත්ත මෙසේ කීවේය.
හික්කඩුවට එන සංචාරකයන්ට පැදීමට අවශ්‍ය යතුරු පැදි, පා පැදි සොයලා දෙන්නෙත් මේ රුසියානුවන්. ජංගම දුරකතනයෙන් තමයි වැඩේ වෙන්නේ. සංචාරකයා තමන්ට පැදීමට අවශ්‍ය යතුරු පැදිය, පාපැදිය ගන්න එන්නේ රුසියානුවන් නිර්දේශකර වෙන්කරන ලද ස්ථානවලටයි. ඒකෙනුත් ඔවුන් ගාණක් හම්බ කරනවා. ත්‍රිරෝද රථවල තත්වයත් ඒකමයි. මේක මහා කරුමයක් වෙලා.
හික්කඩුවේ මේ අවනඩුව පිළිබඳව හික්කඩුව නගරාධිපති යසස්වින් ගොඩකන්ද මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීවේය.
ඇත්තටම මේ සිදුවීම අපිට වාර්තා වුණා. අපි ඒ පිළිබඳව සොයා බැලුවා. මේ අනීතිකව සංචාර ව්‍යාපාරයේ යෙදෙන සංචාරකයන් මේ රටින් යවන්න අපි පියවර ගත්තා. මේ වනවිට සැලකිය යුතු පිරිසක් තමන්ගේ රටවලට යවලා තිබෙනවා. මේ සංචාරකයන් සමග අපේ අයත් ව්‍යාපාරවල යෙදෙනවා. කොහොම හරි අපි ඒකත් නැති කරලා හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය හික්කඩුවේම අයට සින්න කරනවා.