රු. මි. 999 ක MBSL හිමිකම් නිකුතුවට කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය


  • සෑම ඡන්ද හිමි කොටස් 21කටම අලු‍තින් ප්‍රමුඛ කොටස් 4ක්  

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) මගින් සිදු කිරීමට යෝජනා කර තිබූ හිමිකම් නිකුතුවට එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි.  
මෙම නිකුතුව ප්‍රමුඛ කොටස් (Preference Shares) ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 21ක් සඳහාම අලු‍තින් ප්‍රමුඛ කොටස් 4ක් හිමි වන ලෙස එය සිදු වෙයි. මෙහිදී නිකුත් කෙරෙන සමස්ත ප්‍රමුඛ කොටස් සංඛ්‍යාව 99‍,912,312 ක් වන අතර, කොටසක් රුපියල් 10ක් බැගින් නිකුතුවෙහි වටිනාකම රුපියල් මිලියන 999 ක් (999‍,123‍,120 ක්) වෙයි.  
මෙම ප්‍රමුඛ කොටස් යනු සාමාන්‍ය කොටස්වලට වඩා වැඩි වරප්‍රසාද හිමිවන කොටස් වර්ගයකි. විශේෂයෙන්ම ලාභාංශ ගෙවීමේදී එම කොටස් වෙත ප්‍රමුඛතාවක් හිමි වෙයි.  
විශේෂයෙන්ම MBSL සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය තවත් රුපියල් මිලියන 999 කින් ඉහළ නංවා ගැනීම මෙම නිකුතුවේ අරමුණ වී තිබේ.  

ශ්‍රී ලංකා මහ බැංකුවද පසුගිය අප්‍රේල් 17 වැනිදා එම සමාගම වෙත දැනුම්දීමක් සිදු කරමින් මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව පවත්වා ගැනීම සම්බන්ධ දැනුවත් කර තිබේ. ඒ අනුව මෙම රැස් කරගන්නා මුදල් එම අවශ්‍යතාව සැපරීමට ප්‍රමාණවත් බවත් සමාගම පවසයි.