රාජ්‍ය සේවයේ කප්පාදුවකට ලෝක බැංකුවෙන් නිර්දේශ


පමණ ඉක්මවූ රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින බවත් කියයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුපට වඩා අඩු වැටුපක් 
ඉදිරි වසර දෙක තුනක කාලයේදී රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ගියහොත් ගුණාත්මක සේවයක් සැපයීමට බලපෑමක්
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් මන්දගාමීව සිදුවිය යුතුයි
අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රමාණවත් සේවකයන් පිරිසක් සිටින බවද තහවුරු කරන්නත් ඕනෑ
ලංකාවේ අයවැය ගත රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක වන්නේ අඩුවෙන්
සුබ සාධන හා සංවර්ධන වැඩසටහන් දැඩි අවදානමට ලක්වූ පවුල් පමණක් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන්නේ නෑ


විමුක්ති. එස්. රුද්‍රිගු


ජනතාවට ගුණාත්මක සේවයක් සැපයීම සඳහා තීරණාත්මක නොවන අංශ ඉවත කරමින් මෙරට සිටින රාජ්‍ය සේවකයන් පිරිස ක්‍රමානුකූලව අඩු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ලෝක බැංකුව පසුගියදා නිර්දේශ කළේය.
පෞද්ගලික අංශයට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුපට වඩා අඩු වැටුපක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට ගෙවූවත් මෙරට පමණ ඉක්මවූ රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින බව ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ශ්‍රී ලංකාව පිළිබඳව මූල්‍ය සමාලෝචන වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් ක්‍රමානුකූල කප්පාදු කරමින් රාජ්‍ය සේවක පිරිස නිවැරදි ප්‍රමාණයට ගෙනා ආ යුතු බවද එහි දැක්වේ.
හොඳින් ඉලක්ක කරගත් කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති හරහා මධ්‍ය කාලීනව සහ දිගු කාලීනව ශ්‍රී ලංකාවට රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය තවදුරටත් අඩු කර ගැනීමට හැකියාව පවතින බවද එම වාර්තාව පෙන්වා දුන්නේය.
ඉදිරි වසර දෙක තුනක කාලයේදී රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ගියහොත් ඉන් ජනතාවට ගුණාත්මක සේවයක් සැපයීමට බලපෑමක් එල්ල විය හැකි බවත් අධික කාර්ය මණ්ඩලයක් සිටින අංශ සහ වෘත්තීන්හි කාර්ය මණ්ඩලය අඩු කිරීම ක්‍රමානුකූලව සිදුවිය යුතු බවත් මූල්‍ය සමාලෝචන වාර්තාව නිර්දේශ කර තිබිණි.
එහිදී වසරකට විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන් පිරිසට වඩා අඩු ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් මන්දගාමීව සිදුවිය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එහෙත් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රමාණවත් සේවකයන් පිරිසක් සිටින බවද තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකු මූල්‍ය සමාලෝචන වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ අයවැයගත රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක වන්නේ අඩුවෙන් බවත් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බොහෝ ව්‍යාපෘති අත්හිටුවා හෝ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු තත්වයක පවතින බවත් එම වාර්තාවේ සඳහන් වේ.