- පින්නවල සංචාරක පිරිස් උඩරට දුම්රියෙන් ඉහළකෝට්ටේ සංචාරක කලාපයට
- රඹුක්කන නව සංචාරක කලාප වැඩ සටහනට රැපියල් කෝටි 100 ක ආයෝජනයක්
- රඹුක්කන දුම්රිය ස්ථානය හා අක්කර 06 ක් පමණවන එම භූමියේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්
- රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ කඩුගන්නාව දක්වා නව සංචාරක රේල් බස් සේවාවක්
- පදික සංචාරක පිරිස් වෙනුවෙන් දුම්රිය මාර්ගයට ආසන්නව ආරක්ෂිත පදික ගමන් මාර්ගයක්
කෑගල්ල විශේෂ - කපිල නන්ද ලාල්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සංචාරක කලාපය ලෙස පින්නවල අලි නිවහන හා පින්නවල එළිමහන් සත්ව උද්‍යානය මෙතෙක් කලක් දෙස් විදෙස් නරඔන්නන්ගේ ජනාදරයට පත්ව තිබුණි. එහෙත් වර්තමානයේ රඹුක්කන ඉහළකෝට්ටේ ප්‍රදේශය තවත් එවැනිම ඉතා සුන්දරවූ සංචාරක ආකර්ෂණයකින් යුත් ප්‍රදේශයක් බවට පත්ව තිබීම අප සැමගේ සතුටට කරුණකි.
උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෙටි වේලාවකින් මෙම ඉහළකෝට්ටේ ප්‍රදේශයට ළඟාවියහැකිය. ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස මීටර් කිහිපයක් ආපසු දුම්රිය මාර්ගය දිගේ පැමිණීමෙන් මෙම ස්වාභාවික සෞන්දර්යයෙන් යුත් සංචාරක ඉසව්වට ළඟාවිය හැක.
ඉතා දර්ශනීය අලගල්ල කඳුයාය, උතුවන්කන්ද සරදියෙල් ගල, බතලේගල කන්ද හා තවත් සුන්දරවූ කඳු හෙල් පන්ති රැසකින් හා මීයන් ඇල්ල හා හක්ඔලුවාව ඇල්ල යන දියඇලිද ඉතිහාසයේ සංඝරාජ හිමියන් වැඩමකළ බවට සාක්ෂි තිබෙන සංඝරාජ ගල් ලෙනද මෙහිදී දර්ශනය වෙයි. උඩරට දුම්රිය මාර්ගයේ කොළඔ සිට බදුල්ලට ගමන් කිරීමේදී හමුවන සිංගිමලේ බිම්ගෙයට පමණක් දෙවැනි වන අඩි 1360 ක් වන දිගම දුම්රිය බිම්ගෙයද මෙම ස්ථානයේදී හමුවේ. එයද මෙහි ඇති විශේෂත්වයකි.
රුපියල් කෝටි 100 ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන රඹුක්කන නව සංචාරක කලාප වැඩ සටහනට අනුව රඹුක්කන දුම්රිය ස්ථානය හා අක්කර 06 ක් පමණවන එම දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමියේ විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමත් එයට අමතරව රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ කඩුගන්නාව දක්වා නව සංචාරක රේල් බස් සේවාවක්ද පදික සංචාරක පිරිස් වෙනුවෙන් දුම්රිය මාර්ගයට ආසන්නව ආරක්ෂිත පදික ගමන් මාර්ගයක්ද ඉදිකිරීමට නියමිතයි.
එයට අමතරව රඹුක්කන දුම්රියපොළට අයත් භුමියේ දුම්රිය කෞතුකාගාරයක් , පහසුකම් වලින් යුතු සංචාරක නවාතැන් පොළක් නව ආර්ථික මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක් හා ඉඩකඩ පහසුකම් සහිත වාහන නැවතුම් පොළක් ඉදිකිරීමද මෙම සංචාරක සංවර්ධන වැඩ සටහනට ඇතුළත්ය. තවද රඹුක්කන හා ඉහළ කෝට්ටේ අතර ඇති කඩිගමුව හා ගංගොඩ යන කුඩා දුම්රිය ස්ථාන නවීකරණය කිරීමටද යෝජිතව ඇත.
ලබන 2026 වසරේ දෙසැම්බර් මස අවසන් වනවිට මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටසේ වැඩ නිමවීමත් සමග එහි ප්‍රවේශ මාර්ගය කොටවැල්ල වන නිසා ආසන්නම නගරය වන රඹුක්කනට ඉතා විශේෂ වටිනාකමක් මෙන්ම ආර්ථිකමය පිබිදීමක්ද සිදුවීමට නියමිතයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දියුණු ආර්ථික මධ්‍යස්ථානයක් තිබීම වැදගත් වනවා මෙන්ම රඹුක්කන නගරය නොනිදන නගරයක් බවට පරිවර්තනය වීමද සිදුවනු ඇත.
පින්නවල අලි ඇතුන් නැරඹීමටත් එළිමහන් සත්ව උද්‍යානයේ සතුන් නැරඹීමටත් දිනපතා දහස් ගණන් සංචාරකයන් පැමිණියද ඔවුන්ගේ දෛනික නැරඹුම් රටාව බවට පත්ව ඇත්තේ එම ස්ථාන නරඹා ආපසු හැරී යාමයි. එහෙත් රඹුක්කන දියත් කෙරෙන මෙම නව සංචාරක වැඩ සටහනට අනුව රජය උත්සාහ කරන්නේ මෙහි එන සංචාරකයන් දිනක් හෝ ඊට වැඩි කලක් ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමටයි. ඒ සඳහා පහසුකම්වලින් යුත් සංචාරක නවාතැනක් රඹුක්කන දුම්රියපොළ ආසන්නයේම ඉදිවෙනු ඇත. පින්නවල සංචාරක පුරයේ හෝටල් රාශියක් ඇතත් ඒවා බහුලව යොදා ගන්නේ මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ වෙනුවෙනි. පින්නවල සංචාරක කලාපයේ සිටින වෙළෙඳ මහතුන් පවසන්නේ සවස 3.00 පමණ වනවිට පින්නවල ප්‍රදේශය මහත් පාළු ස්වභාවයක් ගන්නා බවයි. තවද එම කලාපය රාත්‍රියට අදුරේ දිස්වන බවත්, එය පින්නවලින් අපේක්ෂා කරනු ලබන සංචාරක ඉදිරි ගමන් මගට හිතකර නොවන තත්වයක් බවත් වෙළෙඳ සංගමය පවසයි. එපමණක් නොව එම ප්‍රදේශයේ රාත්‍රියට පවතින විවිධ සමාජ විරෝධී කටයුතුද තුරන් කිරීම ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයට අත්‍යවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.
රඹුක්කන හා ඉහළකෝට්ටේ අතර විවෘත වී ඇති නව සංචාරක ඇස පිළිබඳව ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානාධිපති සුජීව විජේකෝන් මහතා පවසන්නේ මෙවන් අදහසකි,
මේ ඉහළ කෝට්ටේ ප්‍රදේශය දේශීය හා විදේශීය නරඹන්නන් විශාල වශයෙන් දිනපතා ඇදී එන තැනක්. මේක හොඳ ආදායම් උල්පතක්. එහෙත් මෙතන තිබෙන ගැටලුව වන්නේ මෙහි එන සංචාරක පිරිස් රඳවා ගැනීමට පහසුකම් නැතිකමයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙතෙක් නිර්මාණය වෙලා නැහැ. ඉහළ කෝට්ටේ කියන්නේ ඉතාම දුෂ්කර ගම්මානයක්. එහෙත් ස්වභාව සෞන්දර්යයෙන් ඉතාම ඉහළයි. මෙහි එන විදෙස් සංචාරකයන් අතර අලගල්ල කන්ද ජනප්‍රිය කළ හැකියි. ඔවුන් කඳු තරණයට ආසයි. එහා පැත්තේ මීයන් ඇල්ල. අනිත් පැත්තෙන් හක්ඔලුවාව ඇල්ල. මේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ තියනවා පාලුවට ගිය වල්වැදුණු පරණ ගොඩනැගිල්ලක්. දුම්රිය බලධාරීන් සමග කථාකර ඒ ගොඩනැගිල්ල නවීකරණය කර සංචාරක නවාතැනක් බවට පත්කළොත් එන සංචාරක පිරිස් රඳවා ගැනීමට හේතුවෙනවා. එසේ නවාතැන් ගතහොත් විදෙස් පිරිස දියඇලි නරඹලා අලගල්ල කන්ද තරණය කරල දර්ශන පතයට (View Point ) ගිහිං ජායාරූප ගතකිරීම් කරගෙන මහන්සි ඇරලා හරිම නිස්කලංකව විනෝදයෙන් ආපසුයාවි. මෙතරම් දර්ශනීය වටිනා ස්ථානයක් ගැන ජනතාව අතරට තවම තොරතුරු ගිහිං නැහැ. අපේ ඉතිහාසයේ සැඟවී ඇති තැනක් වන සංඝරාජ හිමියන් වැඩමකළ ස්ථානයක් වන සංඝරාජ ගල්ගුහාව තිබෙන්නෙත් මෙතනයි.
එසේම උඩරට දුම්රිය මාර්ගයේ පටුම දුම්රිය පාර තිබෙන්නෙත් මේ ළඟ බලන හා ඉහළකෝට්ටේ අතරයි.මේවා සංචාරක ඇස ගැටෙන විරළ ස්ථාන. මහනුවර හා රඹුක්කන අතර කැලිප්සෝ දුම්රියක් ධාවනයට යොදවලා මෙම විශේෂිත ස්ථානවල නවතා ඒවා බැලීමට හා ඡායාරූප ගතකරගැනීමට අවස්ථාව ලබාදී පින්නවල ගොස් අලි ඇතුන් නරඹලා ආපසු මහනුවර බලා යාමට පහසුකම් සලසා දුන්නොත් සංචාරක ව්‍යාපාරය හරහා හොඳ ඩොලර් තොගයක් ඉහළකෝට්ටෙන් උපයා ගැනීම ඉතාම පහසු වේවි. මෙම කටයුත්ත පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත රණසිංහ මහතා විශාල උත්සාහයක යෙදෙන බවත් එම සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති බවත් දැනගන්නට ඇත.