අදියර 2 ක් යටතේ රුපියල් මිලියන 500ක පිරිවැයෙන් 2025 සිට 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කෙරේ
නිමල කොඩිතුවක්කු
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවා ලබා ගැනීමට හැකි වන පරිදි ‘රජයේ සුපර් ඇප්’ යෙදවුමක් (Government Super App) නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15 ක් සමග මුල් වටයේ පහසුකම් සැලසෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
‘රජයේ සුපර් ඇප්‘ යෙදවුම ව්‍යාපෘතිය අදියර 2 ක් යටතේ රුපියල් මිලියන 500ක පිරිවැයෙන් 2025 සිට 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එකිනෙකට වෙනස් පද්ධති, බහු සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා මෙන්ම වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බවටද ඇස්තමේන්තු කර ඇත.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර් ඇප්‘ යෙදවුම (Government Super App) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.
සියලුම රාජ්‍ය සේවා පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14ක් වූ වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මඟින් සකස් කරනු ඇත.