යුනියන් බැංකුව ණයකරයකින් රුපියල් බිලියන 3ක් රැස් කරගැනීමට යයි


භානුක අමරසිංහ 


යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් සිලෝන්) රුපියල් බිලියන 3ක් වටිනා ණයකර නිකුතුවක්  කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. මෙය බාසෙල් III අනුකූල, අදියර2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර නිකුතුවක් බව බැංකුව පවසයි.  
මෙහිදී ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සැලසුම වන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 3ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ණයකර කොටස් සියල්ලම එක වර නිකුත් කරන බවත්. සුදුසුකම් සහිත අයෝජකයන් වෙත මෙම ණයකර නිකුත් කරන බව බැංකුව පවසයි.  
එසේම ණයකර නිකුතුවට අදාළ කල්පිරීමේ කාලය, පොලී අනුපාත සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා  බව බැංකුව පවසයි. එසේම මෙම නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් බැංකුව සඳහන් කරයි.