මෙවරත් වැඩිම අපනයන ඇමෙරිකාවට


  • දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයට. ආදායම ඩො. මි. 250.34 ක්

 විමුක්ති එස් රුද්‍රිගු


2025 පළමු කාර්තුවේදී වැඩිම අපනයන ප්‍රමාණයක් කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 775.60 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවට කළ අපනයනවලින් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 711.57 ක් බවත් එයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ඇමෙරිකාවට කළ අපනයනවලින් ඉපැයූ ආදායම සියයට 9 කින් වර්ධනය වී ඇති බවත් එම මණ්ඩලය පැවැසුවේය.

එසේම පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකාවට සිදුකළ අපනයනවලින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 274.89 උපයා තිබෙන බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 13.83 වර්ධනයක් බවත් එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

පළමු කාර්තුවේදී දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව වැඩිම අපනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයට බවත් ඉන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 250.34 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.74 ක වර්ධනයක් බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු ඩොලර් මිලියන 239.02 අපනයන කර තිබිණ.