මුල් මාස අටේ අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි


පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 6.61 ක වර්ධනයක්
අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා අංශවල මුළු අපනයන ආදායම ඩො.බි.1.6 ක්
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.බි. 9.09 ක්
පළමු මාස 8දී මෙරට ඇඟලු‍ම් සහ රෙදිපිළි ආදායම ඩො.බි.3.58 ක්
තේ අපනයන ආදායමද පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 8.89 කින් වර්ධනය වෙලා
රබර් ආශ්‍රිත අපනයන ආදායම සියයට 5.90 කින් පහළගිහින්
 සේවා අපනයන ආදායමේ සියයට 5.57 ක වර්ධනයක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 8දී මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11.55 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 6.61 ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධනය මණ්ඩලය ඊයේ (23) ප්‍රකාශ කළේය.
එසේම පසුගිය අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා යන අංශවල මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් වන අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 2.57 ක වර්ධනයකි.
අපනයන අංශයේ ලබාගෙන ඇති මෙම වර්ධනය වෙළෙඳපොළ අවස්ථා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීමට දරන උත්සාහයේ සාර්ථකත්වය පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම මෙරට අපනයනකරුවන් වෙනස්වන ගෝලීය වෙළෙඳපොළට හැඩගැහෙන ආකාරය සහ ඔවුන්ගේ ශක්තිමත්භාවය එමගින් නැවතත් පෙන්වා දී තිබෙන බවද ඔහු පැවැසුවේය.
ඉදිරි අනපේක්ෂිත තත්ව පිළිබඳව සැලකිලිමත් මත් වෙමින් තරගකාරීත්වය වැඩි දියුණු කිරීමෙන් සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමෙන් මෙම වසරේ අපනයන ඉලක්කය සපුරා ගත හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලය විශ්වාස කරන බව විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම වසරේ පළමු මාස 8දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.09 ක් වූ අතර එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 6.89 ක වර්ධනයකි. පසුගිය වසරේ පළමු මාස 8 දී මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 8.50 කි.
පසුගිය අගෝස්තු මාසයේදී මෙරට මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.29 ක් වන අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 5.13 ක වර්ධනයකි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23 ක් විය.
මෙම වසරේ පළමු මාස 8දී මෙරට ඇඟලු‍ම් සහ රෙදිපිළි ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.58 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 6.81 ක වර්ධනයකි. පසුගිය වසරේ පළමු මාස 8 දී මෙරට ඇඟලු‍ම් සහ රෙදිපිළි ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.35 ක් විය. මෙම වසරේ පළමු මාස 8දී තේ අපනයන ආදායමද පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 8.89 කින් වර්ධනය වී ඇති නමුත් රබර් ආශ්‍රිත අපනයන ආදායම සියයට 5.90 කින් පහළ වැටි ඇත.
එසේම මෙම වසරේ පළමු මාස 8දී මෙරට සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 5.57 ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. එහිදී තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.03 ක ආදායමක් උපයා තිබේ.
එය පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 5.57 වර්ධනයකි. කෙසේ නමුත් පසුගිය අගෝස්තු මාසයේදී තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සියයට 6.82 කින් පහළ වැටී ඇත.