මිල දර්ශකය අනපේක්ෂිත පසුබෑමකට


කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වාර්තාගත පහත වැටීමක් වාර්තා කරයි. පසුගිය ජනවාරි මුල් සතියේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ දර්ශක නැවතත් ආපසු එතැනටම පත්ව තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. මෑත කාලයේ අඩුම පිරිවැටුම හා ගනුදෙනු ප්‍රමාණය ඊයේ (මාර්තු 10) වාර්තා වූ අතර එය වෙළෙඳ පොළ උදාසීන බව මැනැවින් පෙන්වා දී තිබේ. 
සම්පත් බැංකුව රු මිලියන සියයක ණයකරයක් නිකුත් කරන ලද අතර එයට සියයට 11.75 ක පොලියක් දක්වා ඇත. මෙයට අමතරව සිංගර් ෆිනෑන්ස් රු. මිලියන දහසක සහ ඒෂියන් එලයන්ස් තවත් මිලියන පන්සියයක ණය කර නිකුත් කොට තිබේ. මේවායේ ඵලදා අනුපාතිකය ද සියයට 11 ඉක්මවන බව නිවේදනය වී ඇත. අඩු උනන්දුවකින් හා සමාගම් මත තවත් බදු පැනැවෙන ආකෘතියක් තුළ කොටස් වෙළෙඳාම වෙනුවට ණයකර සඳහා නැඹුරුවීමට ඉදිරියේ දී තවත් ඉඩ ඇති බව පෙන්වා දිය හැකිය. 


ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000.78 තෙක් පහළ වැටුණු අතර එය දර්ශක 114.69 ක රින අගයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,775.10 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 33.25 ක පහළ වැටීමක් සේ දැක්විය හැකිය. 
සම්පත් රු. මිලියන 55 ක්, නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 53 ක්, යුනියන් ඇෂුවරන්ස් රු. මිලියන 47 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 34 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 34 ක් සී.අයි.සී රු. මිලියන 26 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් තිබුණි. 
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 10,730 ක් වූ අතර එහි දී සමාගම් 80 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 140 කි. දිනයේ පිරිවැටුම රු. මිලියන 824.57 දක්වා ඉතා අඩු අගයක් වාර්තා කළේය. 2024 අගෝස්තු 08 වැනි දින කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 320 ක් වූ අතර එය මෑත කාලයේ එනම් කොවිඩ් -19 වසංගත කාලයට පසු අඩුම අගය වශයෙන් සටහන්ව තිබුණ බව මෙහි දී සඳහන් කළ යුතුව තිබේ. 2024 ජනවාරි 10 දා සියලු කොටස් මිල දර්ශකය 15,926.00 ක් ලෙස අවම අගයක් ගත් බව වාර්තා අතර තිබේ.
නිරීක්ෂක