මැයි මාසයේදී නිෂ්පාදන - සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්


නිෂ්පාදන අංශයේ වර්ධනයට මැයි මාසයේ වැඩ කරන දින ගණන ඉහළ යෑම හේතු වෙලා 


පෙරහැර සමයේ සංචාරක පැමිණීම් ඉහළ යාම නිසා ඉදිරි මාස තුනේ සේවා අංශයේ ධනාත්මක අපේක්ෂාවක් 


මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී මෙරට තුළ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මැයි මාසයට අදාළ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. 
ඒ අනුව මැයි මාසයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 56.6 ක් ලෙස සටහන්ව ඇති අතර, අප්‍රේල් මාසයේදී එය දර්ශකාංක 42.6 ක් විය. මෙහිදී නිෂ්පාදන අංශයේ උප දර්ශක වන නව ඇනවුම් දර්ශකාක 36.4 ක සිට 52.6ක් දක්වාත්, නිෂ්පාදන දර්ශකාංක 30.5 ක සිට 54.6ක් දක්වාත්, සේවා නියුක්තිය දර්ශකාංක 47.0 ක සිට 59.7ක් දක්වාත්, තොග මිලදී ගැනුම් දර්ශකාංක 44.0 ක සිට 52.6 ක් දක්වාත් යනාදී ලෙස පහත වැටීමක සිට ඉහළ යෑමක් සටහන්ව තිබේ. 
මෙම වර්ධනය සඳහා ආහාර හා පාන නිෂ්පාදනය, රෙදිපිළි සහ ඇගලු‍ම් නිෂ්පාදනය යන අංශවල වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. එසේම අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ වැඩ කරන දින ගණන ඉහළ යෑමද ඊට බලපා ඇත. 
කෙසේ වෙතත් ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂාවන් කඩඉම් මට්ටමට වඩා ඉහළින් පවතින බවත්, මැදපෙරදිග ගැටුම හා සම්බන්ධ අවදානම් තත්ව ව්‍යාපාර අපේක්ෂා මත තවදුරටත් බලපෑම් ඇති කරනු ඇති බවත් මහ බැංකුව පවසයි. 
මේ අතර මැයි මාසයේදී සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, දර්ශකාංක 56.9 ක් ලෙස සටහන්විය. මෙය අප්‍රේල් මාසයේ පැවැති දර්ශකාක 46.7ට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමකි. 
මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය, වෘත්තීය සහ අනෙකුත් පෞද්ගලික සේවා යන උප අංශ හේතු වී තිබේ. එසේම දේපළ වෙළෙඳාම්, තොරතුරු තාක්ෂණ වැඩසටහන්කරණය සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.