මාසේ පඩි සතියේ නම් බිස්නස් හොඳයි


එස්.වී. එළවළු වෙළෙඳසලේ හිමිකරු  එස්.වී. පි.එම්. කුමාරසිංහ

මේ දිනවල බිස්නස්වල තතු සොයා යන ගමනේදී කරවනැල්ල නගරයට පිවිසුණු අපි ගොඩවූයේ එළවළු වෙළෙඳසලක් වන එස්.වී. එළවළු වෙළෙඳසලටයි. මෙම වෙළෙඳසලේ හිමිකරු එස්.වී. පී.එම්.කුමාරසිංහ මහතාගෙන් අප මේ දිනවල බිස්නස් කොහොමද ? කියා විමසූ විට ඔහු පළ කළේ මෙවන් අදහසකි. 

Q මේ දවස්වල බිස්නස් කොහොමද ?  

මම මේ බිස්නස් එක ආරම්භ කරලා දැනට අවුරුදු එකහමාරක් වගේ තමා වෙන්නේ. මේ දවස්වල බිස්නස් සාමාන්‍ය තත්වයක් තියනවා. මාසේ පඩි සතියේ නම් බිස්නස් හොඳයි. ඊට පස්සේ පොඩි පසු බෑමක් තියනවා.

Q බිස්නස් අඩුවීමට හෝ වැඩි වීමට බලපෑ හේතූ මොනවාද ?

මම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිහින් එළවළු පලතුරු අරන් එන්නේ. එළවළු වෙළෙඳාම ගත්තාම ඒ කියන්නේ පෙළක් සතිවල ගණන් අඩු වෙන්නත් පුළුවන්. පෙළක් සතිවල ගණන් වැඩි වෙන්නත් පුළුවන්.  වර්ෂාව නිසා සහ ගොවියා ගේන බඩුවල කොලිටිය අනුව මිල වෙනස් වෙනවා. හොඳ බඩු තිබ්බොත් අපිට සුළු මුදලක් අල්ලලා පාරිභෝගිකයාට දෙන්න පුළුවන්. ගේන බඩුවලින් වැඩි හරියක් අහක ගියොත් මිල ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අපිත් ගේන ගාණ හරි ෂේප් කරගන්න ඕනනේ. 

ගණන් වැඩි වුණාම මිනිස්සු එළවළු ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒක එක පැත්තක්. අනිත් එක තමා සාමාන්‍යයෙන් ඉස්සර ගෙදරක හිටියා හය දෙනෙක් හත් දෙනෙක්. දැන් සාමාන්‍යයෙන් ඉන්නේ ගෙදරක දෙන්නයි තුන්දෙනයි. ඒ නිසා ලොකු ප්‍රමාණයක් එළවළු ගෙනත් විකුණගන්න අමාරු තත්වෙකුත් තියනවා. පෙළක් කට්ටිය බොහොම පොඩ්ඩයි ගන්නේ. පෙළක් කට්ටිය බලන්නැතුව එහෙම ප්‍රමාණයක් නැතුවත් ගන්නවා. ඉතින් ඒ දෙපැත්ත බලනකොට පෙළක් පැතිවලින් වාසි වෙනවා. පෙළක් පැතිවලින් පාඩු වෙනවා. ලොකු ප්‍රමාණයක් ගත්තේ නැති වුණාම දවස් දෙකෙන් විකුණගන්න පුළුවන් එක දවස් 3කට විකුණන්න වෙනවා. එතකොට අහක යන ප්‍රමාණයත් වැඩියි. කොලිටියත් අඩු වෙනවා. එළවළුයි පලතුරුයි තමා ප්‍රධාන ලෙස අලෙවි කරන්නේ. ඊට අමතරව සිල්ලර බඩු කිහිපයක් සුළු ප්‍රමාණයෙන් අලෙවි කරනවා.  සිල්ලර බඩුවලින් ලොකූ වෙළෙඳාමක් බලාපොරොත්තු වෙන්න බෑ. ආර්ථික අපහසුතායි, ඉඩ පහසුකම් මදි කමයි නිසා ලොකූවට සිල්ලර බඩු දාන් කරන්න බෑ. සිල්ලර බඩුවලින් සාමාන්‍ය වෙළෙඳාමක් තියනවා. ලොකු වෙළෙඳාමක් කරගන්න බෑ. මගෙ වෙළෙඳසලට එන්නෙත් ගොඩක්ම එළවළු පලතුරු දෙක බලාපොරොත්තුවෙන් තමා. ඒ නිසා ඒ දෙකෙන් යම් තරමක සාමාන්‍ය ආදායමක් තියනවා. සාමාන්‍ය මුදලක් අල්ලලා සාධාරණ විදියට මේ වෙළෙඳාම කරගෙන යනවා.

ඡායාරූප සහ සටහන
හසිනි නවෝද්‍යා