- අල්ලස් කොමිසමේ නඩු පැවරීම්වලින් රජයට රැ. ලක්ෂ 21 කට වැඩි අදායමක්
- නැවත නැවත ලැබුණු පැමිණිලි ඉවත් කළ විට වලංගු පැමිණිලි ගණන 3,836ක්
- පළමු මාස හතේදී අල්ලස් හා දූෂණ චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගැනීම් 76ක්
- ලැබුණු පැමිණිලිවලින්, පැමිණිලි 2,682 ක් කමිටුව සමාලෝචනය කරලා
- පැමිණිලි පනත යටතට නොවැටීම හේතුවෙන් පැමිණිලි 489 ක් අනෙක් රාජ්‍ය ආයතන වෙත යොමු කරලා
- වැටලීම් 31 කින් කිසිම ප්‍රයෝජනයක් වෙලා නෑ
විමුක්ති එස්. රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7 තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදුකළ නඩු පැවරීම්වලින් රජයට රුපියල් ලක්ෂ 21 කට වැඩි අදායමක් රජයට ලැබී තිබෙන බවත්, මේ දක්වා පැමිණිලි 3,937ක් අල්ලස් කොමිසමට ලැබී තිබෙන බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඉන් නැවත නැවත ලැබුණු පැමිණිලි ඉවත් කළ විට පැමිණිලි 3,836 වලංගු පැමිණිලි වූ බව එම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම වසරේ පළමු මාස 7තුළ අල්ලස් හා දූෂණ චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගැනීම් 76 සිදුකර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවලින්, පැමිණිලි 2,682 ක් කමිටුව සමාලෝචනය කර තිබෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි. ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 288 ක් විමර්ශනය කිරීම සඳහා යොමුකර ඇති බවත්, තවත් පැමිණිලි පනත යටතට නොවැටීම හේතුවෙන් පැමිණිලි 489 ක් අනෙක් රාජ්‍ය ආයතන වෙත යොමුකර තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එසේම විමර්ශනයක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් කරුණු නොවීම මත සහ පනත යටතට නොවැටීම හේතුවෙන් පැමිණිලි 1,011 විමර්ශනය නොකිරීමට උපදෙස් ලබාදී තිබෙන බවද එම වාර්තාවේ.
මෙම වසර ආරම්භය වනවිට පසුගිය වසරේ ලැබී තිබූ පැමිණිලි 240 ක් විමර්ශනය කිරීමට ඉතිරිව තිබූ බවත් ඒ අනුව පසුගිය ජුලි 31 වැනිදා වනවිට පැමිණිලි 1154 ක් ඉතිරිව තිබූ බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ පළමු මාස 7තුළ වැටලීම් 72 ක් සිදුකර ඇති බවත් ඉන් 39 ක් සාර්ථක ඒවා වූ බවත් එම වාර්තාවේ දැක්වේ. සාර්ථක වැටලීම්වලින් අත්අඩංගුවට ගැනීම් 49 ක් සිදුකළ බවද එම වාර්තාව පෙන්වා දෙයි. කෙසේ නමුත් වැටලීම් 31 කින් කිසිම ප්‍රයෝජනයක් සිදු නොවූ බවද එම වාර්තාවේ සඳහන් වේ. එසේම සිදුකරන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස තවත් 27 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
එසේම මෙම වසරේ පළමු මාස 7තුළදී චෝදනා ලැබුවන් 64 ක් සම්බන්ධයෙන් නඩු 54 ක් ගොනුකර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. වැටලීම්වලදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් බවත් දෙවැනි ස්ථානයට වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ අමාත්‍යංශයේ බවත් එම වාර්තාවේ දැක්වේ.
අධිකරණයේ ගොනු කරනු ලැබූ නඩු 54 න් 31 ක් අල්ලස් චෝදනා මත ගොනු කර ඇති බවත් තවත් නඩු 15 ක් දූෂණ චෝදනා මත ගොනුකර ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම තවත් නඩු 8 ක් ගොනු කර ඇත්තේ ධනය උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට නොහැකිවීම හේතුවෙන් බවද එම වාර්තාවේ දැක්වේ.
නඩු චූදිතයන් 64 දෙනාගෙන් 13 දෙනකු ශ්‍රී ලංකා පොලිසියට අනියුක්තව සේවය කළ අය බවද එම වාර්තාවේ සඳහන් වේ.