මානව් සාණි නෙස්ලේ ලංකා මුල් පුටුවට


බර්නි ස්ටෙෆන්

මානව් සාණි

2026 මැයි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි  නෙස්ලේ ලංකා සමාගමේ නව සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මානව් සාණි මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කළේය. මෙතෙක් එම තනතුරෙහි කටයුතු කළ බර්නි ස්ටෙෆාන් මහතාගෙන් පසුව මානව් සාණි මහතා එම ධූරයට පත් විය. නෙස්ලේ සමූහයේ නව ජාත්‍යන්තර තනතුරක් වෙනුවෙන් විදේශගත වීමට නියමිතව ඇති බර්නි ස්ටෙෆන් මහතා 2023 වසරේ සිට පැවති අභියෝගාත්මක කාල සීමාව තුළ නෙස්ලේ ලංකා ආයතනයට සාර්ථක නායකත්වයක් ලබා දෙමින් සමාගම ස්ථාවර වර්ධනයක් කර ගෙන යාමට සමත් විය.

සිය අති සාර්ථක සේවා කාලය පිළිබඳව අදහස් දැක්වූ බර්නි ස්ටෙෆාන් මහතා මෙසේ පැවසීය. “නෙස්ලේ ලංකා ආයතනය නායකත්වය ලබා දීමට හැකිවීම මගේ වෘත්තීය ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකීමට කැමැතියි. ලාංකිකයන් වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන කණ්ඩායමක් සමග කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත් වනවා. පෞද්ගලිකව ගත් විට මේ සුන්දර රටේ ජීවත් වෙමින්  ලාංකිකයන්ගේ කරුණාව සහ ආගන්තුක සත්කාරය අත්විඳීමට ලැබීම මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලෙස සඳහන් කළ හැකියි. වසර 120ක් පුරා ලාංකිකයන් සමග සමීපව කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම පවුල් ප්‍රජාව ශක්තිමත් කිරීමටත්, පරිසරය සුරැකීමටත් කළ මෙහෙවර පිළිබඳව ඉතාමත් සතුටුයි. ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මා වෙත සහයෝගය ලබා දුන් සියලු‍ දෙනාට මේ මොහොතේ ස්තුතිය පළ කර සිටිනවා. අපගේ ශක්තිමත් කණ්ඩායම ඉදිරියටත් සාර්ථකව මෙම මෙහෙවර ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා.” 

පාරිභෝගික භාණ්ඩ (FMCG) සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍රවල වසර 18කට වැඩි අත්දැකීම් සහිත මානව් සාණි මහතා නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට පත්වීමට පෙර දකුණු ආසියානු කලාපයේ නෙස්ලේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. එහිදී එකිනෙකට වෙනස් නිෂ්පාදන පෙළක් මනාව කළමනාකරණය කරමින් ව්‍යාපාරය සාර්ථක පරිවර්තනයක් කරා ගෙන යාමට ඔහු සමත් විය.