මහජන දේපළ අයිතිය කාටද?


“නරක නීතියක් අහෝසි කර දැමීමට ඇති හොඳම මාර්ගය එය තදින් ක්‍රියාත්මක කිරීමයි” - එබ්‍රහම් ලින්කන්


ඩෙන්මාර්ක් රාජ්‍යයේ යම් දූෂණයක් සිදුව ඇත - ශේක්ස්පියර් (හැම්ලට් නාට්‍යයෙන්)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් හටගත් මහා ආන්දෝලනයෙන් ඇවිස්සුණු ධූලි හෙමිහිට තැන්පත් වෙද්දී මහජනතාව වූ අපි මේ සිදුවූ කලබගෑනිය කුමක්දැයි සිතමින් කල්පනා කරන්නෙමු.
ඉන් පසුව අප දැනගත්තේ “මහජන දේපළ” යනුවෙන් විශේෂ භෞතික දේපළ විශේෂයක් ඇති බවත් ඒවායින් ඔබට දරුණු ප්‍රතිඵල ගෙන දෙන වැරැදි සිදුවිය හැකි බවත්ය. පෞද්ගලික රියක් හා ගැටුණු විට එය ඔබගේ රක්ෂණ සමාගම විසින් රැකවරණය දිය යුතු හදිසි අනතුරකි. බොහෝ අවභාවිතයට ලක්වූ රජයට අයත් කාර් රථයක ගැටුණු විට (රජයේ දේපළකි) එය නිම්හිම් නැති බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑමකි. එය ඔබේ කරුමෙටම සිදුවන අයහපතකි.
එවිට රජය (පොලිසිය) අවාසනාවන්ත රියැදුරාට රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා නගන්නට තීරණය කළහොත් ඔහු නියත ලෙස රිමාන්ඩ් භාරයට ගනු ඇත. (ඔහුගේ නඩු විභාගය ආරම්භ වනතුරු රිමාන්ඩ් භාරයේ පසුවන්නට සිදුවන්නේද යන්න ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් ඔබේ කරුමයෙන්ම තීරණය වනු ඇත.)
ඔහුගේ නඩු විභාගය ඇරැඹෙන්නට බොහෝ කලකට පෙර දඬුවම් විඳීම ඇරැඹෙන අතර ඔහුට ඇප පිට නිදහස ලබාගත හැකි එකම ක්‍රමය, ඇප ලැබීමට සුවිශේෂ තත්වයන් ඇති බවට විනිසුරුවරයාට ඒත්තු ගැන්වීම පමණකි.
චෝදනා ලත් රියැදුරුවරයා සුවිශේෂ පුද්ගලයකු නොවිය හැකි නිසා සැක සහිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්වයන් කියාපෑම ගැන ඔහු සිහින මවා නොගනු ඇත. නැතහොත් කොළඹ වීදි පුරා නීතිය දත් උදවිය සිය ගණන් විරෝධය පෑමක් ගැන ඔහුට සිතාගත නොහැකිවනු ඇත. ආධුනික නීතිඥවරයකුගේ සේවාව ලබා ගැනීම ඔහුට මහත් අසීරු වනු ඇත.


නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය උදෙසා වූ මූලික අයිතිය:-

එවැනි නඩුවල නඩු විභාගය දක්වා සැකකරුවකු රිමාන්ඩ් භාරයේ පසුවී ඉන්නා කාල පරාසය හෝ දඬුවම් නියම කිරීමෙන් මෙවැනි නඩු කෙතරම් ප්‍රතිශතයක් නිමාවන්නේද යන්න ගැන තොරතුරු අප සතුව නැත. අනෙක් නඩුවල වාර්තා අනුව සලකා බැලූවිට, එම ගණන් හිලව්වලින් අපගේ නීති පද්ධතියට ලැබෙන ගෞරවයක් නැත.
පොදු දේපළ පනතට එරෙහි නීති විරෝධී ක්‍රියා ශ්‍රී ලංකාවේ නීති සම්පාදකයන්ගේ එවැනි ව්‍යවස්ථාදායක උත්සාහයන් බොහොමයකගේ මාර්ගය අනුගමනය කළ සෙයක් පෙනේ. දැනට පවතින තත්වය තවත් නරක අතට නොහැරුණේ නම් සාක්ෂාත් කරගෙන ඇත්තේ ස්වල්පයකි. පොදු දේපළවලට එරෙහි නීති විරෝධී ක්‍රියා යන සංකල්පයට පවතින පුළුල් පරාසයක වූ අර්ථ නිරූපණ කිසිම පියවරකින් අඩු වී ඇතැයි අප නොසිතමු. සිදුව ඇත්තේ නීති සම්පාදකයන් විසින්ම එම සංකල්පයට, තමන්ගේ වාසියට අර්ථ නිරූපණ ගෙන ඒමේ ක්‍රම සහ විධි සොයා ගනිමින් මහජන කටයුතු සහ මහජන මුදල් අසීමිත ලෙස අපයෝජනය කිරීම යුක්ති සහගත කොට ඇත. ඔවුන් අධික ලෙස මහජන මුදල් භාවිත කිරීම පොදු දේපළ අවභාවිත කිරීමට එරෙහි වරදක් ලෙස නොසලකා හැර දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමට එක් කොටගෙන එය නීත්‍යානුකූලකරණය කිරීමයි.
වැරැදි උපදෙස් මත ගොඩනැගුණු මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති විසින් රාජ්‍ය භාණ්ඩාගාරයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. අලුත පත් වූ රජය වරාය නගර ව්‍යාපෘතියේ වැඩ කටයුතු, එහිම පාරිසරික ඇගයුම්වල දෝෂ ඇති බව පවසමින් නවතා දැමූ විට වරාය නගර ව්‍යාපෘතියේ ලජ්ජාම සහගත නන්දෙඩවිලි අපි දුටිමු. එය නිමාවිය හැකි එකම ආකාරයට එම රංගනය නිමා වූයේ රටට දඩ මුදල් ගෙවමින් සමාව ද ඉල්ලා සිටින්නට වූ කලය.
ඊළඟට ඇත්තේ එහි ලජ්ජා සහගත බව පිළිනොගත් භාණ්ඩාගාර බැඳුම්කර මගඩියයි. කතාවේ සෑම අදියරකම සිය නොවරදින සෙවණැල්ල හෙලූ බලගතු දේශපාලනඥයකු එහි ප්‍රධාන රංගධරයන් දිරිමත් කර තිබිණි. මහ බැංකුවට අලුත පත්කර තිබූ අධිපතිවරයාට භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කළ බෑණා කෙනකු උන්නේය. මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම ගත් විගස, බැඳුම්කර වෙන්දේසියේ දී ඔහුගේ බෑණා විසින් පාලනය කළ අලෙවි කොම්පැනිය අනෙක් ලන්සුකරුවන් පරයා ලන්සු තැබීමේ ආධිපත්‍ය දැරුවේය. රට කෝපාවිෂ්ට වූයේය. පාර්ලිමේන්තු විමර්ශනයක් ඇතුළුව එම කාරණය ගැන බොහෝ විමර්ශන පැවැත් වූ මුත් ඒ සියල්ල පක්ෂග්‍රාහීත්වයට යට විය. වාර්තාවේ බලපෑම නිෂේධ කිරීමේ අභිප්‍රායෙන් යොදන පාද සටහන් ද බහුල විය. අපගේ ප්‍රභූ සංස්කෘතියේ දූෂණය මෙන්ම අපගේ ආයතනයන්හි ව්‍යාජ ආටෝපය ද අපි ලෝකයට පෙන්වීමු.


අදිසි හස්තය:- 

රජයේ සියලුම ගිවිසුම් තුළ පාහේ බලයේ සිටින දේශපාලනඥයන්ගේ අදිසි හස්තය පවත්නා බව රහසක් නොවේ. මෙම ගිවිසුම් ඉතා දුර්වල අයුරින් කෙටුම්පත් කර තිබෙන, නිරන්තරම පාහේ මූලික අරමුණ නොසලකා හැර, මුදල් නාස්ති කොට, අවශ්‍ය පමණට වඩා ගෙවීම් කර, පොරොන්දු වූ තරම් දුර නොයා අතරමග ඇනහිටින ඒවාය. ඒ අතර ඒවායේ කාර්යය ද නිසි ලෙස ඉටු නොකෙරෙන අතර සම්පූර්ණ කිරීමට තව තවත් මුදල් යෙදවිය යුතු වන්නේය. ඒවායින් සිදුවන හානිය අවම කර ගැනීමට තව තවත් මහජන මුදල් යෙදවිය යුතු වන්නේය.
විශේෂයෙන් කැබිනට් අමාත්‍යධුර දරන විට අපගේ රජයේ දේශපාලකයන් මහත් ධනයක් අත්පත් කරගන්නා වගට කිසිවෙක් මතභේද නොනගති. කූඨ ව්‍යාපාරිකයන්ගෙන් ඔවුනට නිදහසේ අල්ලස්, කොමිස්, ප්‍රදානයන් හා තුටු පඬුරු ලැබෙන බවට අපි අනුමාන කරන්නෙමු. මේවා විවිධ ආකාරයෙන් ඔවුන් අත්පත් කරගන්නා අත යට වාසිය. කළු සල්ලි ඒ සියල්ල තුළ ක්‍රියාත්මකය. අපගේ දේශපාලනඥයෝ තව තවත් දෑට කෑදර ලෙස ගිජු වෙමින්, මහජන මුදල් අවභාවිත කරමින්, නීත්‍යානුකූල බව පවසමින් ඒවා එළිපිට කරති. අපගේ දේශපාලනඥයන් රැස්ව සිටින තැනක් නිකමට නිරීක්ෂණය කර බලන්න. ඉහළම ගණයේ යුරෝපීය යාන වාහන ඔවුනට අයත්ය.
දිලිසෙන සේද කුර්තාවන් හැඳ පැළඳ ඉන්නා ඔවුන් අවට බොඩිගාඩ්ලා හා රියැදුරෝ නිබඳව සැරිසරති. ඒ සියල්ලට මිල ගෙවන්නේ රජයෙනි. ඔවුන්ගේ කල්කිරියාවෙන්ම ඔවුන් කැපී පෙනේ. අනෙකුත් දේශපාලකයන් සමග ඔවුහු එක හා සමාන ලෙස වාණිජ කටයුතු ගැන සතුටු සාමීචියේ යෙදී සිටිති. ඔවුන් නිර්මාණය කළ බංකොළොත් රටේ ඔවුන්ගේ මෙම හැසිරීම් අතිශය හාස්‍ය උපදවයි.
රජයේ නිලධාරීන්ට වාහන සහ අනෙකුත් පහසුකම් නොදිය යුතු බව අපි මොහොතකට හෝ නොසිතමු. ශ්‍රී ලංකාවේ සිදුව ඇත්තේ බලයට පත්වූවන් වාසි සහ පහසුකම් සාධාරණ තරමෙනුත් ඔබ්බට අසීමිත ලෙස පැහැරගෙන තිබීමයි.
රාජපක්ෂ පාලන කාලයේ මෙය මහත් අශ්ලීල මට්ටමට පැතිර ගියේය. අඹුදරුවෝ, සොයුරෝ, නෑසියන් හා ආධාරකරුවෝ පවා මහජන මුදලින් වැජඹෙන්නට ගත්හ. පහත් ප්‍රමිතියේ නායකයන්ගෙන් සමාජ රටාවට සිදු වූ හානිය මිනිය නොහැකි තරම්ය. නරක නීතියක් අපගේ මනස එහි ඇප විධිවිධාන කෙරේ යොමුකර තිබේ.
කෙසේ වුවද පොදු දේපළ සහ මහජන අවශ්‍යතාවන්ට එරෙහි වැරදි අදාළ නොවන බව මෙයින් අදහස් නොකෙරේ. එම ගැටලු අද දවසේ අපගේ දෛනික ජීවිතයේ මූලික ගැටලුවක් බවට පත්ව වඩාත් සංකීර්ණ ආකාරයෙන් එම නීති විරෝධී ක්‍රියා ඉදිරිපත්ව තිබේ.
ඕනෑම නීතියක් විශේෂිත පරිසරයක පිහිටා ස්ථාපිත වන්නකි. එය අර්ථ නිරූපණය කළ හැක්කේ එම රටේ සමාජ හා ආර්ථික යථාර්ථයන්ට අනුරූපවයි.
අද දිවි ගෙවන්නේ දුප්පත්, මන්දගාමී වර්ධනයකින් යුතු තුන්වැනි ලෝකයේ රටකය යන්න කවුරුත් දන්නා කරුණකි.


සමාජ ආර්ථික යථාර්ථයන්
රටේ සමාජ ආර්ථික යථාර්ථයන් විස්තර කිරීමට නොබෝදා අත්දුටු සිද්ධි දෙකක් මම ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඒවා පමණට වඩා හැඟීම්බර, විශ්වාස කළ නොහැකි ඒවා හෝ අන්තගාමී සිද්ධි නොව, සාමාන්‍ය අසීරු දිවි පැවැත්මට අදාළ ඒවාය.
පළමු සිද්ධිය නිරන්තරව ටැක්සි සේවාව භාවිත කරන මගේ මිතුරකුට අදාළ කතාවකි. ඔහු වාසය කරන්නේ අතුරුගිරිය නාගරික ප්‍රදේශයේය. සාමාන්‍ය කාර් රථයකට වඩා අඩු ගාස්තු අය කෙරෙන මෝටර් බයිසිකල් ටැක්සි සේවාවක් ඇති බව මම ඔහුගෙන් දැන ගතිමි. මෝටර් බයිසිකල් ටැක්සි පැද යන කාන්තාවෝ ද සිටිති. එක් දිනක් ප.ව. 7.00 ට පමණ රාජගිරියේ සිට අතුරුගිරියට යෑමට ඔහු මෝටර් බයිසිකලයකට ඇමතූ බව ඔහු කීවේය. එවිට පැමිණියේ කාන්තා ධාවකයෙකි. ඈ සමග ගිය ගමනේ දී ඈ අතුරුගිරිය සමීපයේ වෙසෙන බවත් දවසේ අවසාන ධාවනය ලෙස ඈ මෙම ගමන තෝරාගෙන ඇති බවත් ඔහු ඇගෙන් විමසා දැන ගත්තේය.
ළාබාල දරු දෙදෙනකුගේ මවක වූ ඇය, ඈට ලැබී තිබුණු මෙම නම්‍ය වූ දිවිපෙවෙත සතුටින් භුක්ති වින්දාය. දිවා කාලයේ ඈට දරුවන්ගේ කටයුතු කළ හැකි විය. මෙම රැකියාවේ අප්‍රසන්න සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවී නොමැතිදැයි මගේ මිතුරා විමසා ඇත්තේ රෑ බෝවී බීමත් පුද්ගලයන් ගමන් යන බැවිනි. බොහෝ මගීන් හොඳ හැසිරීමෙන් යුක්ත වූවන් බව ඇය කියා තිබේ. ඇතැම්විට අදාළ නොවන හැසිරීම්වලින් යුක්ත වූවන් ද ඇයට මුණ ගැසී තිබේ. දිනක් මෝටර් බයිසිකලය මග නවතා, පැමිණි මගීයාට එයින් බසින්නට කියන්නට පවා ඇයට සිදුවී තිබේ. මෝටර් සයිකලයේ කුලිය ද රු. 800 ක තරම් සාධාරණ වූවක් බව මෙකල අයකරන ගාස්තු හා සැසඳූ විට පෙනී යයි. එම ධාවනයෙන් ඇය රු. 500 ක් පමණ උපයා ගන්නට ඇතැයි අපි ගණන් බැලුවෙමු.
මැදි වයසේ පසුවන මා මේ කියන සිකුයුරිටි ගාඩ්වරයා, සිය විශ්‍රාම දිවිය ගත කිරීමට කුලියාපිටියේ නිවෙසක් කුලියට ගත් බව මට කියා සිටියේය. විශ්‍රාම යෑමට තව කලක් තිබියදී විශ්‍රාම යන්නේ ඇයිද කියාත්, ඔහු මහනුවර අයකු නිසා කුලියාපිටියට ගියේ ඇයිද කියාත් මම විමසීමි. කුලියාපිටියේ විද්‍යා පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දියණියක් ඔහුට සිටියාය. එම ප්‍රදේශය ඈට නුහුරු නිසා පවුලේ උදවිය ඈ සමග කුලියාපිටියට ඒමට කැමති වූවෝය. ඔහුට මහනුවර දේපළ හිමිව තිබුණු අතර ඒවා විකිණීමට ඔහු සිතා සිටියේය. විද්‍යා පීඨය අසල බොහෝ නිවෙස් පිළිබඳව සොයා ඔවුහු එම නිවෙස්වල එක් කාමරයක ශිෂ්‍යාවන් තිදෙනකු බැගින් රඳවා නේවාසික පහසුකම් ලබාදෙන බව දැන ගත්හ. එක ශිෂ්‍යාවකගෙන් ලබන මාසික කුලිය පමණක් රු. 5000/- ක් පමණ වේ. අනෙක් වියදම් ඔවුන් දැරිය යුතු වේ. එම නිවෙස් සුව පහසු ඒවා නොවේ. එම අසීරුතාව තම දියණිය විඳිනු දකින්නට ඔවුනට ඕනෑ නොවීය.


පුළුල් ලෝකය පිළිබඳ අවුල් සහගත සංකල්පය
මේ කතා දෙකම අතිවිශේෂ කතා නොවේ. ඒවා සාමාන්‍ය දිවිපෙවෙත ගත කරන අසාමාන්‍ය නොවූ ජනතාව ගැන කතාය. ඔවුන්ට ඈත පෙනෙන ක්ෂිතිජය පටුය, අපැහැදිලිය. පුළුල් ලෝකය පිළිබඳ සංකල්පීය දෝෂ ඔවුන්ට දෝෂ සහගතය. ඔවුන් ඡන්දය දී බලයට පත්කළ නායකයන්ගේ කාර් රථවල වියදම හෝ විදේශ ගමන්වලට වැය කළ වියදම ඔවුනට සිතා ගැනීමටත් නොහැකි තරම් ගණනකි. ඔවුහු අඛණ්ඩව මෙම නායකයන්ට ඡන්දය දීමට සැදී පැහැදී සිටිති.
විශේෂයෙන් රට නියෝජනය කරන මට්ටමින්, එතෙර රටවලට ගමන් කිරීමට රනිල් වික්‍රමසිංහ කැමතිය. එය උවමනාවටත් වැඩි අරමුණකි. තුන්වැනි ලෝකයක විදේශ ගමන් බලපත්‍රයක් (වීසා නීති උල්ලංඝණය කිරීම් නිසා) දැරීමේ අපකීර්තිය දන්නා කවරෙක් හෝ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් දැරීමේ වාසිය අගය කරති. මෙකී නිල ගමන් හැරුණුකොට, සුළු ගමන් වියදමක් දරන්නේ විදේශයක බදු ගෙවන්නකු හෝ රටේ බදු ගෙවන්නෙකි.
සියලු දේ දෙපිලක් විසින් කරන මවාපෑමකි. දේශීය වැදගතාට සත්කාර කරන විදේශ රට, මෙරට නියෝජනය කරන්නාගේ අතීත කෙරුවාව හෝ ඔහුගේ රටේ දුක්ඛිත තත්වය නොදනී. රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඔහුට විධිමත් පිළිගැනීමක් පිරිනමති. නැතහොත් රාජ්‍ය නායකයා ඔහු සමග විනාඩි කිහිපයක් සිනාසී කතා කරමින් ගත කරයි.
එවැනි සතුටු සාමීචියකින් රටට ආධාර පිරිනැමීමක් හෝ ආයෝජනයක් සිදුවන්නේ නැත. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව ආයෝජන අඩුවෙන් ලබන රටකි. කවුරු නායකයා වුවත් අප රටේ සාමාන්‍ය වර්ධන වේගය බලාපොරොත්තු තැබිය නොහැකි තරම් වූ සියයට4 කි.
රනිල් වික්‍රමසිංහ ඔහුගේ වසර 2 ක් වූ ජනාධිපති නිල කාලය තුළ විදේශ ගමන් 23 ක් තරම් ගිය බව සෑම විදේශ තානාපති කාර්යාලයක්ම අවධානයට ගනු ඇත. ජනතා ඡන්දයෙන් පත් නොවූ, එසේ පත්වන්නට පවා නොසිටි ජනාධිපතිවරයකුට එය කෙටි අතුරු කාලයකි. ඔහුගේ තනතුරේ යථාර්ථයන් ගැන විමසන ඕනෑම රාජ්‍ය තාන්ත්‍රිකයකු ඒ බව දැනගනු ඇත.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රගමනයත් සෑමදේම වැරැදි අතට ගිය රටකට කනස්සල්ලක්ම පමණක් එක් කරනු ලැබීය.