මහජන අදහස් විමසීම ආර්ථිකයට වැදගත්ද?


සාරා කන්දෙගොඩ


ප්‍රජාතන්ත්‍රවාදය සංකීර්ණ ක්‍රියාවලියකි. විවෘත ආර්ථිකය ද එයට නොදෙවෙනිය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතරයක ගේ කැමැත්ත තිබේ. විවෘත ආර්ථිකය තුළ ඉතාම තියුණු තරගකාරීත්වයක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය හා විවෘත ආර්ථික ක්‍රමය තුළ මහජනතාවට සැලකිය යුතු අයිතියක් ඇත. මෙම අයිතිවාසිකම නොසලකා හැරීම දැනට ඇති බරපතළ ප්‍රශ්නයක් බව සඳහන් කළ යුතුවේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතරයක ගේ කැමැත්ත නැති අතර විවෘත ආර්ථික ක්‍රමය තුළ තරගකාරීත්වය පාලනය කර තිබේ. ශ්‍රී ලංකාව ගොදුරු වී ඇති මෙම ව්‍යුහය අවසානයේ දී පුරවැසියන්ට උසස් සේවයක් සම්පාදනයක් සිදු නොවේ.
ලෝකයේ දියුණු රටවල් මහජන අදහස් අනුව තීරණ ගැනේ. බහුජන සංවිධාන සමග සාකච්ඡා කර එකඟවන ක්‍රම සම්පාදනය කර ඇත. ජනතා සංවිධාන මුණගැසෙන අලුත් ක්‍රමවේද නිර්මාණය කොට තිබේ. ඒවාට නිත්‍යානුකූල බවක් සපයා ඇති අතර මහජන අදහස් ලබාගැනීම අනිවාර්ය කර ඇති අවස්ථා හඳුනාගත හැකිවේ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික පැතිකඩ වෙනස් කරන අතර ඒවායේ දී මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන ක්‍රමවේද හඳුන්වා දී ඇත.


සමාජ පර්‌යේෂණ හා මහජන අදහස්
දියුණු රටවල් නිතර සමාජ සමීක්ෂණ පවත්වයි. ජනමත විචාරණවලින් ජනතාවගේ අදහස් ලබාගනී. එය පාලන ක්‍රම පහසු කරන බව දැක්විය යුතුය. බලයට පත් වූ පසු ජනතාව හා පාලකයන් අතර පරතරයක් ඇති වේ. මෙම පරතරය බිඳීම සඳහා ජනමත විචාරණ හා මහජන අදහස් විමසීම සිදුකෙරේ. එහි දී ජනතාව ඉදිරිපත් කරන අදහස් පාලනයට ඉවහල් කරගැනේ. මුල් කාලයේ දී මුද්‍රිත පත්‍රිකා භාවිත කළේය. ඒවායේ නිශ්චිත ප්‍රශ්නාවලියක් තිබුණි. පිළිතුරු දෙන ආකාරය අනුව මත තීරණය කරගැනීමට වගකිවයුතු අංශවලට අවකාශ ලැබිණ. පසුකාලයක දුරකතන මගින් කරන අදහස් විමසීමක් දක්වා ව්‍යාප්ත වූ අතර දුරකතන භාවිතය ව්‍යාප්තවීම සමග අදහස් ලබාගැනීම, ඒවා සම්පිණ්ඩනය කිරීම ඉතාම පහසු ක්‍රියාවලියක් බවට පත්විය. 2012-2020 වන විට මෙම මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය තවත් පහසු හා සරල කෙරිණ. අන්තර් ජාලය භාවිත කරන ලද අතර විශේෂිත මෘදුකාංගවලින් කෙළින්ම ප්‍රශ්නයක් යොමුකර නියැදියක් දක්වන ප්‍රතිචාර මැනැවින් ග්‍රහණය කරගත හැකි විය.
සමාජ විද්‍යාඥයෝ මෙම මහජන මතය හඳුනාගැනීම අරමුණු කරගෙන පර්‌යේෂණ පවත්වති. ඒවායෙන් ජනතාවට කියන්නට ඇති දේ හඳුනාගනී. පාලනය කරන කණ්ඩායම කෙරෙහි පීඩනයක් ඇති නොකෙරේ. සාමාන්‍යයෙන් පවතින නීති අනුව රටක් පාලනය කරන පසු ඒවායේ සිදුවිය යුතු වෙනස්කම් ගැන විශේෂඥ අදහස් ඉදිරිපත්වන නමුත් ඒවා මහජන මතය විසින් සාධාරණීකරණය කළ යුතුවේ.
ඇතැම් රටවල ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ පාර්ලිමේන්තු විවාදවලට සහභාගීවීමට කලින් සිය ඡන්ද දායකයන්ගේ අදහස් විමසන්නට හුරු වී සිටිති. විශේෂිත පනතක් සම්බන්ධ ඡන්දය විමසන අවස්ථාවක ජනතාවගේ පැත්තේසිට තීන්දු ගැනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාව වැනි රටවල පක්ෂ දේශපාලය හේතු කොටගෙන ස්වාධීන තීරණ ගත හැකි මහජන මන්ත්‍රීවරුන් නැත. පක්ෂය උසුලන අදහසට පටහැනි වෙනස් මතයක් ඉදිරිපත් කළ නොහැක. හෘද සාක්ෂිය පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද ගැටලු එයින් ඇතිවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව තමන් නියෝජනය කරන ජනකණ්ඩායමට සේවය කළ යුතු නමුත් මෙරට ඉතිහාසයේ සිට පක්ෂවලට හැර ජනතා ලැදියාවකින් යුතුව තීරණ ගත් මහජන නියෝජිතයෝ විරලය.


අය වැය අදහස් විමසීම ඒවායේ ප්‍රතිඵලය
මහජන මතය හා ජනතා නියෝජිතයන්ගේ වගකීම ගැන මෙම සංවාදය ඇති කරන පියවර ඉදිරියේ ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතනවල පවත්වන මහජන අදහස් විමසීම ඉතාම වැදගත්ය. වත්මන් ආණ්ඩුව පමණක් නොව මෙයට කලින් තිබුණ ආණ්ඩු ගණනාවක් වාර්ෂික අය වැය සඳහා වැදගත්වන යෝජනා ගැන මහජනතාවගෙන් අදහස් ඉල්ලා සිටියේය. සංවර්ධන අදහස් ලබාගැනීම සඳහා සංවිධානාත්මක ජන හමු පවත්වන ලදී. පුවත් පත් ඇතුළු මාධ්‍යවල දැන්වීම් පළ කළේය. ඒවාට ලැබුණ ප්‍රතිචාර ආණ්ඩු දිරිගන්වන සුළු බව සඳහන්විය. ජනතාව මහත් පරිශ්‍රමයකින් පසු ඉදිරිපත් කරනලද අදහස් අය වැයට ඇතුළත් වූයේ නැත. අය වැය යෝජනාවල පුරුදු බදු ක්‍රම සහ ආදායම් සංශෝධන අදහස් බහුලව තිබුණි. 
මහජනතාවගෙන් පමණක් නොව මහජන සංවිධාන වලින් ද අදහස් විමසීමක් කෙරේ. පසුගියදා ජනාධිපතිවරයා විවිධ පාර්ශව හමු වූ අතර එය හුදෙක් මෙම 2026 වසර සඳහා අය වැය සකස්කිරීමට පමණක් නොවේ. මෙයට කලින් ද අවස්ථා ගණනාවක මුදල් ඇමැතිවරු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් අය වැය යෝජනාවලට ඇතුළු කිරීමට උත්සාහ කළේය. එය අගය කළ යුතුවේ. කෙසේ නමුත් අවසානයේ දී රජයට බලපෑම් කරන බාහිර පාර්ශව දක්වන තද අදහස් පමණක් අය වැය ලේඛනයේ ඉදිරිපත් කෙරේ. සංවර්ධන අභිලාශයන්, සමාජ ප්‍රගමනය අරමුණු කරගෙන ඉදිරිපත් කරන අදහස්වලින් විශාල ප්‍රමාණයක් මුදල් අමාත්‍යංශයේ අය වැය සකස්කරන නිලධාරීන්ගේ ලිපිගොනුවල පවතින බව නිසැකය. 
මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ ව්‍යුහය තුළ උද්ගත වූ තත්ව සලකා බලන ලද ප්‍රධානක ආයතන හා බටහිර සංවිධාන මෙම ව්‍යාකූලතා මගහරවා ගැනීමට මහජන අදහස් ඉතාම වැදගත් බව අනාවරණය කර ඇත. ආයතනික කටයුතුවල දී අදහස් ලබාගැනීම අනිවාර්ය කාරණයක් බව දක්වා ඇත. එය වියදම් අධික කාර්යයක් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සහ විවෘත ආර්ථික ක්‍රමය ඉතා මහජන හිතකාරී ලෙස පවත්වාගෙන යනු පිණිස වැදගත් කර්තව්‍යයකි. 


විදුලිය ගාස්තු නැංවීම ගැන අදහස් විමසීම 
විදුලිය බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන අතර එහි දී ද ගාස්තු සංශෝධන සම්බන්ධ ප්‍රමිති සකස් කර තිබේ. මහජන අදහස් ලබාගැනීම මෙම ප්‍රමිති අතර වැදගත් අංශයකි. මහජන උපයෝගීතා කොමිසම අදහස් ලබාගැනීමට මැදිහත්වේ. 2020 වසරේ දී ස්ථාපිත කරන ලද මෙම ආයතනය මහජනතාව සමග සම්බන්ධව කටයුතු කිරීමටත්, ජනතා අදහස් අනුව ව්‍යාපාර නියාමනය කිරීමටත් ක්‍රියාත්මක වේ. පසුගිය කාලය තුළ ආන්දෝලනාත්මක ආකාරකට විදුලිය ගාස්තු වැඩි කළේය. ජල බිල්පත් ඉහළ නැංවීය. ඛනිජ තෙල් මිල සංශෝධනය කරන ලදඅතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වෙමින් තිබිය දී රට තුළ අලෙවිකරන ඉන්ධන මැල ඉහළ නංවන ලද අවස්ථා තිබුණි. දැනට ද විසුලිය ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසන ක්‍රමවේදයක පවතී. 2026 වසරේ අවසාන කාර්තුවේ විදුලිය ගාස්තු ගැන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් හා මහජනතාවගෙන් අදහස් ලබාගන්නා බව පෙනේ. මෙම අදහස් අනුව විදුලිය ගාස්තුව සම්බන්ධයෙන් සිදුවිය හැකි අභ්‍යන්තරය කුමක්ද?
පසුගිය වතාවේ විදුලිය බල මණ්ඩලය සියයට 18.3 ක විදුලිය ගාස්තු වැඩිකිරීමක් ඉල්ලා සිටි අතර එය මෙම 2025 වසර අවසානය දක්වා බව කියා සිටියේය. නියාමන කොමිසම සියයට 15 ක ගාස්තු සංශෝධනයක් අනුමත කළ අතර එය ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කෙරිණ. මෙම වසරේ අවසාන ගාස්තු සංශෝධනය බව සඳහන් කර නැවතත් සියයට 6.8 ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කර තිබේ. මහජන අදහස් විමසන අතර ඒ සඳහා දුරකතන අංක ද ප්‍රකාශයට පත් කර ඇත. අවසානයේ දී මහජන අදහස් පසෙක තිබිය දී විදුලිය බල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය සඳහා ඉඩ ලැබෙන බව සැකයක් නැත. නිෂ්පාදන වියදම අඩු කරගෙන දැරිය හැකි මිලකට විදුලිය සපයනු ඇති බව මහජනතාව විශ්වාස කරති. කෙසේ නමුත් වියදම අඩු කරන්නේ නැත. මහජන අදහස් අනුව කිසිම විදුලිය පාරිභෝගිකයකු ගාස්තු වැඩිකර විදුලියබල මණ්ඩලය ආරක්ෂාකරගත යුතු බව යෝජනා කරන්නේ ද නැත. එසේ තිබිය දී ප්‍රජාතන්ත්‍රවාදයේ හා විවෘත ආර්ථිකයේ උසස් ගුණාංග බව හුවා දක්වමින් මහජන අදහස්වලට කාලයක් වෙන් කිරීමේ පදනම කුමක්ද?


ජන හඬ නොසලකා හැරීමේ විපාක
ලෝකයේ ඕනෑම රටක පොදු ජනතාව ඉතාම දුෂ්කර තැනක පසුවේ. ඇති නැති පරතරය ඉහළයෑම ගැන විශාල කනස්සල්ලකින් පසුවේ. ආදායම් විෂමතා සලකා බලන ජන කොටස් බලය ඇති පිරිස් භුක්ති විඳින කොටස ගැන මහත් වෛරයකින් සිටින බව පැහැදිලිය. ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය, තායිලන්තය, බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශය වැනි ඕනෑම රටක මෙම තත්වය තිබේ. පාලකයන් ගන්නා තීන්දු ඒවායෙන් ජන ජීවිතය පත්කරන තැන ගැන මහත් වේදනාත්මක අදහස් මතුවේ. දැනට භාවිත කරන සමාජ මාධ්‍ය ව්‍යුහය එම අදහස් වේගයෙන් අවුළුවමින් සිටී. එය ඉතා භයානක තත්වයකි. නේපාලයේ දී සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීම අනිවාර්ය කළ අතර එසේ නොකරන සමාජ මාධ්‍ය භාවිතයට බාධා කළේය. එරට ආණ්ඩුව ගත් එම පියවර තරුණ පෙළේ නොසතුටට හේතු විය. සමාජ මාධ්‍ය ප්‍රවේශ අයිතිය වෙනුවට දූෂණ චෝදනා හා වත්කම් ගැන ආන්දෝලනයක් හට ගැනිණි. අවසානයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු කිසිම ජනතා නියෝජිතත්වයක් රහිත පුද්ගලයන් අතට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ අන්තර්වාර ආණ්ඩුව කිසියම් නියෝජනයක තිබුණ නමුත් බංගලාදේශයේ හෝ නේපාලයේ ස්වභාවය සහමුලින්ම වෙනස් බව දැක්විය හැකිය. සාධාරණ ආකාරයකට ජනතාවට සවන් දෙන ආකෘතියකින් තොර තත්වයක පැවැතීම මෙයට බලපා ඇති ප්‍රධාන කරුණක් බව පෙනේ. 
ඊළඟ මැතිවරණය තෙක් ඉවසන පැරණි සමාජ ක්‍රමය අහෝසි වී තිබේ. සමාජ මාධ්‍ය භාවිතය තුළ සියලුම දෙනා මතයක හිමිකාරයෝ වෙති. එම මත අදීනව හා අභීතව නැගෙන අතර අවසානයේ දී සංස්කරණයක හෝ පාලනයක් නැත. මෙම අදහස්වලට නතුවන ඒවාට අවනතවන පිරිස් විශාල අර්බුද නිර්මාණය කරමින් සිටිති. ලෝකය පුරා මෙම විපර්යාසය දෙස බලා සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කරගෙන සිටින අතරමැද අවස්ථාව ගැන බලවත් පශ්චාත්තාපයක පසුවේ.
මහජන මතය ඉතාම වැදගත්ය. මහජනතාවට සවන් දෙන හා මහජන මතය තීරණගැනීමේ දී උපයෝගීකරගන්නා බව පෙනෙන්නට තිබීම අවශ්‍යය. නායකත්වය, නායකයන්ගේ දර්ශනය, කැපවීම යනා දී සියලු ගුණාංග අභිබවා මහජන අවශ්‍යතා ඉදිරියට පැමිණ තිබේ. මහජනතාව ඉල්ලන සංවර්ධනය සාක්ෂාත් කිරීම සඳහා මහජන අදහස් ලබාගැනීම අනිවාර්ය කාරණයකි. මෙහි දී මහජන අදහස් ලබාගන්නා බව අඟවන අතර ඒවා නොසලකා තීරණ ගැනීම ද සරල සිද්ධි වශයෙන් සලකා බැහැර කළ නොහැකිය. දැනට පවතින සංකීර්ණ සමාජ රාමුව තුළ සන්නිවේදන මුලධර්ම වෙනස් වී ඇති අතර ජනතාව අතට බලය ලැබී ඇත. මෙම තාක්ෂණික යුගය තවමත් ගුණාංග සඳහා හැඩගැසෙමින් තිබේ. ආර්ථිකය හා සමාජ පසුබිම එයට ඇතුළුවන හා ස්ථාවරවන තෙක් ඉතාම නරක සිද්ධි ඇති විය හැකිය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී හා ආර්ථික වශයෙන් දියුණු රටවල් අද වන විට පවතින තත්වය සලකා බලන පසු ඉදිරියේ දී ඇති විය හැකි සංකීර්ණතා කල්තබා හඳුනාගත යුතුව තිබේ. එයින් පරිබාහිරව ආර්ථික දියුණුවක් අපේක්ෂා කළ නොහැක.