මහ බැංකුවේ සයිබර් ආරක්ෂාව පරීක්ෂාවට විශේෂඥයකු සොයයි


ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සයිබර් ආරක්ෂක පද්ධතිය වෙත එල්ල විය හැකි තර්ජන හඳුනා ගනිමින් එම තර්ජන සඳහා පද්ධතියේ පවතින ආරක්ෂාව, උපක්‍රම සහ සූදානම පරීක්ෂා කිරීම සඳහා වන රතු කණ්ඩායමේ (Red Team) විශේෂඥයකු සඳහා අවස්ථාවක් පවතින බව මහ බැංකුව පවසයි.
ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මහ බැංකුව මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, ඊට අදාළ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ අත්දැකීම් මෙන්ම දක්ෂතාව සහිත විශේෂඥයන් වෙත ජූලි 15 ට පෙර මෙම තනතුර සඳහා ඉල්ලු‍ම් කරන ලෙස එහි පවසා සිටියි.

වසර තුනක කොන්ත්‍රාත් පදනම මත සිදු කරන බඳවා ගැනීමක් වන මෙය සඳහා 2026 ජූලි 15 වන විට වයස අවුරුදු 30කට අඩු ඉල්ලු‍ම්කරුවන්ට අවස්ථාව හිමිවන බව මහ බැංකුව පවසයි. 
එහිදී සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ලබාදීම් පිළිබඳව එකඟතාවකට පැමිණිය හැකි බවත් සඳහන් වෙයි.
යම් ආයතනයක, පද්ධතියක හෝ ව්‍යාපාරයක පවතින ආරක්ෂාව, උපක්‍රම සහ සූදානම පරීක්ෂා කිරීම සඳහා හිතාමතාම සතුරකු හෝ ප්‍රතිවාදියකු ලෙස රඟපාමින් ප්‍රහාර එල්ල කරන (Simulated Attack) විශේෂඥ කණ්ඩායමක් මෙලෙස රතු කණ්ඩායමක් හෙවත් Red Team ලෙස හැඳින්වෙයි. 
අදාළ පද්ධතිය සතුව සැබෑවටම පවතින දුර්වලතා මොනවාද යන්න පිළිබඳව පෙන්වා දීම මෙම විශේෂඥයන්ගේ ප්‍රධානම රාජකාරිය වෙයි.