බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක


රත්තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමග මිශ්‍ර කිරීමට ද පුළුවන් ලෝහයකි. මේ වන විට නවීන තාක්ෂණයත් එක්ක විවිධ වර්ණවල රත්‍රන් වෙළෙඳපොළට පැමිණ තිබේ. 

මැයි, ජුනි මාසවල මංගල උත්සව සඳහා දින වෙන්වීමත් සමග පාරිභෝගිකයෝ මංගල ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට, රන් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වති. මේ දිනවල රන් භාණ්ඩ නිෂ්පාදනය වෙළෙඳපොළ කොයි ආකාරයෙන් ද පවතින්නේ යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී වත්තල වෙළෙඳ නගරයේ වසර දහයක කාලයක සිට රන් වෙළෙඳාමේ නියුතු GOLD AVENUE වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික පී.තනරාජ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්‍තරවලට තිබූ ඉල්ලු‍ම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලු‍වාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා බිස්නස් වැඩිවීමක් වෙලා නෑ. රත්තරන් මිල වැඩිවීම නිසා බිස්නස් සාමාන්‍ය ම්ටටමක තමයි තියෙන්නේ.

බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

ගිය වසරට සාපේක්ෂව මේ අවුරුද්ද වෙද්දී රත්‍තරන් මිල දෙගුණවෙලා තියෙන්නේ. ගිය වසරේ 160000කට තිබුණ රත්තරන් මිල මේ වසර වෙද්දී 260000ක් දක්වා වැඩිවෙලා තියෙන්නේ. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා. 

මේ වෙද්දී රන් පවුමක මිල 240000-250000 මිලක් යටතේ යන්නේ. රන් මිලේ ස්ථාවරත්වයක් නැහැ. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ. එහෙම වුණාම පාරිභෝගිකයොත් රන් මිලේ අඩුවීමක් වෙනකන් බලන් ඉන්නවා. 

මේ කාල සීමාව මංගල උත්සව සඳහා දින නියම වුණ කාල සීමාවක් වුණත් පසුගිය වසරවල වගේ රත්තරන් භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න එන පිරිස අඩුයි. ගිය වසරවල මුදු දෙකක්, මාලයක්, ඊට අමතරව තවත් රත්තරන් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ ආවට මේ වතාවේ පාරිභෝගිකයෝ මිලදී ගත්තේ මුදු දෙකක් විතරයි. ඒ වගේම පවුමක රන් භාණ්ඩයක් මිලදී ගන්නවා වෙනුවට පවුම් භාගයක රන් භාණ්ඩයක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. රන් භාණ්ඩවල මිල වැඩිවීමත් එක්ක පාරිභෝගිකයාට ඒ මුදල දරාගන්න බැරිවීම නිසා අවශ්‍යම දෙය පමණක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. 

මනීෂා වීරසිංහ


ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි