මහ මග දෙපස කුඩා වෙළෙඳ කුටි
- සමහර දිනවලට වෙළෙඳාම රුපියල් දෙදහකටත් අඩුයි
- තවත් සමහර දවස්වලට කීයක්වත් නැතිව හවසට ගෙදර යනවා
- ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. ඒත් වගතුවක් නෑ
- ඇත්තටම මිනිස්සුන්ට අමතර දේවල් ගන්න සල්ලි නෑ
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
රට තුළ මතුව ඇති ආර්ථික දුෂ්කරතා තම ජීවනෝපායට ද දැඩි බලපෑමක් එල්ල කොට ඇති බව මහ මාර්ගය දෙපස වෙළෙඳාමේ නියුතු කුඩා ව්‍යාපාරිකයෝ පවසති. තඹුත්තේගම, මැදගම, ගල්ගමුව, ශ්‍රාවස්තිපුර, තලාව, ගල්නෑව, බුල්නෑව ආදි ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයට යාබද වන සේ ඉදිකොට ඇති තාවකාලික වෙළෙඳ කුටිවල හෝ රුක් මුදුන් යටට වී මෙවැනි වෙළෙන්දෝ ජීවිත සටනේ යෙදී සිටිති. එළවළු, පලතුරු, බඩඉරිඟු, ධාන්‍ය වර්ග, වියළි මිරිස්, වැව් කරවල, මාළු ආදිය විකුණමින් ජීවිකාව සරිකොට ඇති ඔවුනට වෙළෙඳාම අඩුවීමෙන් අත මිට හිඟවී ඇත.
මෙසේ මාර්ගය දෙපස තිබු කුඩා වෙළෙඳ කුටි විශාල ගණනක් මේ වන විට වැසී ඇති බව ද නිරීක්ෂණය කළ හැකිව තිබේ.
තඹුත්තේගම, රාජපක්ෂගම ගම්මානයේ එම්.බී.ප්‍රේමසිරි මහතා පැවසුයේ මෙවැනි කතාවකි. ඔහු කොළඹ - අනුරාධපුර මාර්ගයේ තලාව ප්‍රදේශයට වී එළවළු, පලතුරු ආදිය විකුණමින් දවස සරි කරන අයෙකි.
මේ දවස් වල වෙළෙඳාම හොඳටම අඩුයි. මට නම් හිතෙන්නේ මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ මොනවා වුණත් අපි දෙයියනේ කියලා දවසේ වියදම හොයාගෙන ජීවත් වෙන්නේ මේ මහ පාර හින්දා. මනුස්සයෙක් පාරේ ගියොත්නේ දෙයියනේ කියලා අපිටත් වෙළෙඳාමක් තියෙන්නේ. දැන් මිනිස්සු පාරේ යනවා. ඒත් වෙළෙඳාම අඩුයි. සමහර දිනවලට වෙළෙඳාම රුපියල් දෙදහකටත් අඩුයි. රුපියල් දෙදහක වෙළෙඳම් කරලා රුපියල් දාහක්වත් අතට ඉතුරු වෙන්නේ නෑ. අනිත් එක මේ දවස්වල මෙහෙට හරියට අලි එනවා. මං රෑටවත් ගෙදර යන්නැතිව කඩකෑල්ල රැකගෙන ඉන්නවා. ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. ඒත් වගතුවක් නෑ. දවස් දෙකක් යනකොට මේ එළවළු කුණු වෙන්න ගන්නවා. එතකොට ඉතිං අතින් පාඩුයි.
තඹුත්තේගම නගරය පසුකොට කිලෝ මීටර් හයක් පමණ තලාව නගරය දෙසට පැමිණි පසු හමුවෙන මල්වානේගම ආසන්නයේ ද මෙපරිද්දෙන් වෙළෙඳාමේ යෙදෙන පිරිසක් හමුවේ. එසේ මහ මඟ ජීවිත සටනට බැස ඇති එම්. ජයරත්න වසර තිහකට වැඩි කාලයක් තිස්සේ මහ මග වෙළෙඳාමෙන් පදම් වු අයෙකි. වියළි මිරිස්, රටකජු, විවිධ ධාන්‍ය වර්ග ආදිය අලෙවි කරමින් දවස ගෙනයයි. ඔහු මෙසේ කරුණු කීවේය.
මං දැන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ මේ පාර අයිනට වෙලා වෙළෙඳාම කරනවා. හැමදාම වගේ අපිට කුඹුරු ඉඩකඩම් නෑ. හේන් කරන්නත් බෑ. පුදුම අලි කරදරයක් තියෙන්නේ. ඒ හින්දා තමයි මේ විදිහට පොඩියට වෙළෙඳාමක් කරගෙන කීයක් හරි හොයාගන්න බලන්නේ. මේ දවස් වල වෙළෙඳාම හොඳටම අඩුයි. ඉඳලා හිටලා මනුස්සයෙක් තමයි දැන් අපි ළඟ නවත්තන්නේ. ඇත්තටම මිනිස්සුන්ට අමතර දේවල් ගන්න සල්ලි නෑ. මොනවා හරි කන්න, බොන්න දේවල් ටික ගත්තහම අතේ තියෙන සල්ලි ටික ඉවරයි. සමහර දවස් වලට කීයක්වත් නැතිව හවසට ගෙදර යනවා.
මහ මගට වී බෙර, උඩැක්කි, රබන්, ඩොලැක්කි, තම්මැට්ටම්, කොංගෝ ආදි වාද්‍ය භාණ්ඩ අලෙවියෙන් දවස සරි කළ වෙළෙඳුන් ද මෙසේ දුෂ්කරතා රැසකට මැදිව දවස ගෙවයි. ඔවුහු උඩැක්කි, ඩොල්කි සමග මහ මග හුදකලාවී ඇත්තේ වෙළෙඳාම කඳුළක දියවී ඇති බැවිණි. වාද්‍ය භාණ්ඩ වෙළෙඳාම සමග කලක් තිස්සේ තලාව නගරය ආසන්නයේ රුක් සෙවණකට වී දවස ගෙවන එස්.ජීවන්ත මතුව ඇති දුෂ්කරතා පිළිබඳව මෙසේ අදහස් කීවේය.
මහ මග වෙළෙඳාමට තබා ඇති වාද්‍ය භාණ්ඩ
කාලයක් තිස්සේ මං මේ වෙළෙඳාම කරන්නේ. මේ දවස්වල වෙළෙඳාම හොඳටම අඩුයි. කාලයක් තිස්සේ කරපු රස්සාව අතෑරලා මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. කාටවත් තේරුන් නැති වුණාට මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතිං ඒ හින්දා අමතර දේවල්වලට වියදම් කරනවා අඩුයි. ඒකෙන් අපිත් අසරණයි.
මහ මග වාද්‍ය භාණ්ඩ වෙළෙඳාමට වැටී ඇති තවත් අයකු වන සමීර ප්‍රේමරත්න පැවසුවේ මෙවැනි අදහස්ය.
මේ දවස් වල වෙළෙඳාම හොඳටම අඩුයි. මිනිස්සු අතේ සල්ලි නෑ. අපි දෙයියනේ කියලා දවසේ වියදම හොයාගෙන ජීවත් වුණේ මේ වෙළෙඳාමෙන්. මිනිස්සුන්ට විනෝද වෙන්නත් සල්ලි ඕනනේ. මිනිස්සු නොකියා හිටියට පුදුම අමාරුවකින් ජීවත් වෙන්නේ. හැමෝම රජයේ සේවකයෝ නෙමෙයිනේ. ඉස්සර නම් විනෝද ගමන් යන කට්ටිය අපි ළඟ නවත්තලා බඩු ගන්නවා. ඒත් දැන් ඉඳලා හිටලා එහෙමත් කෙනෙක් තමයි මොනවා හරි දෙයක් ගන්නේ. එදිනෙදා ව්‍යාපාර කරපු අපි වගේ ගොඩක් මිනිස්සුන්ට තාමත් හොඳක් වුණේ නෑ. එ්ත් මේ කරන දේ අතැරලා දාලා එකපාරටම වෙන කරන්න දේකුත් නෑනේ.
සමහර දිනක මේ අඩවියට එන විදේශීය මෙන්ම දේශිය සංචාරකයන් ද අඩුවේ.
කලක පටන් සිය සැමියා හා එක්ව කව්පි, මුං, කුරහන් ආදි ධාන්‍ය වෙළෙඳාමේ යෙදෙන එන්.ඉන්ද්‍රාණි පැවසුවේ සමහර දිනක මතුවන වෙළෙඳාමේ අහේනිය පිළිබඳවය.
නිකං වෙළෙඳාමක් නැතිව පාර අයිනට වෙලා ඉන්න ගියහම එපා වෙනවා. නිකං දවස ගතවෙනවා විතරයි. සමහර දවස්වලට නම් වෙළෙඳාමක් තියෙනවා. මොනවා වුණත් අපි මේ මහ පාරේ ඉඳගෙන කරන වෙළෙඳාමේ ලාබ අලාභ ගැන කාටවත් කලින් කියන්න බෑ. ඒක ඉතිං එක අතකින් අපේ වෙලාව තමයි. ඉස්සර මිරිස්, කව්පි, මුං ඇට එහෙම අපෙන් ගොඩක් අය ගත්තා. දැන් ගොඩක් අය ගණන් අහලා යනවා. අනිත් එක අපෙන් මොනව හරි ගන්න මිනිස්සු අතේ සල්ලි තියෙන්නත් ඕනනේ. මිනිස්සු සද්ද නැතිව හිටියට ජීවත් වෙන්නේ පුදුම අමාරුවකින්.
අප හැමට ඇති පොදු සටන නම් ජීවත්වීමේ සටනය. මේ මිනිසුන්ද මැදිව ඇත්තේ ඒ සටනමය. මේ පාරෙන් එපිට ඇත්තේ දුෂ්කරතා සපිරි ගම්මාන පෙළකි. වන අලි කරදර වලින් ද ඔවුනට අඩුවක් නැත. එහෙයින්ම දවසේ වියදමට කීයක් හෝ උපයා සපයා ගන්නට මහ මගට එන්නට මේ ගැමියන්ට සිදුව ඇත.
හිටි හැටියේ මිල ඉහළ ගිය වියළි මිරිස්