බැංකු සහ මූල්‍ය සමාගම් සතු තැන්පතුවල වටිනාකම වසර 6කදී ට්‍රිලියන 10 කින් ඉහළට


  •  2024 දී සමස්ත තැන්පතුවල වටිනාකම ආසන්නව රු.ට්‍රිලියන 19ක් 
  • ඒ අතරින් වැඩිම ප්‍රමාණය වන රු. ට්‍රිලියන 13.3ක් ස්ථාවර තැන්පතුවල 
  • මූල්‍ය සමාගම්වල ස්ථාවර තැන්පතුවල වටිනාකම රු.ට්‍රිලියන 1ක් 

 භානුක අමරසිංහ 
පසුගිය වසර අවසන් වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් සතු තැන්පතුවල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 19ක් (මිලියන 19,053,524ක්) ලෙස සටහන්ව තිබේ. 
2025 වසර සඳහා වන ආර්ථික සහ සමාජ සංඛ්‍යා දත්ත පිළිබඳව මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ මූල්‍ය අංශයේ කාර්යසාධනය තුළ මේ බව සඳහන්ව ඇත. 
මෙය 2018 වසරේදී එම බැංකු සහ මූල්‍ය සමාගම් සතුව පැවැති රුපියල් ට්‍රිලියන 9.1ක (රු.මිලියන 9,139‍,247ක) තැන්පතු හා සැසඳීමේදී රුපියල් ට්‍රිලියන 10ක ඉහළ යාමකි. 
මෙහිදී බැංකු සහ මූල්‍ය සමාගම් තුළ 2024 අවසන් වනවිට පැවති ඉල්ලු‍ම් තැන්පතු, ඉතුරුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු පිළිබඳ වන තාවකාලික දත්ත පිළිබඳව අවධානය යොමු කර තිබේ. 
මෙහිදී 2024 දීබලපත්‍රලාභී වාණිජ බැංකු තුළ පැවැති ඉල්ලු‍ම් තැන්පතුවල වටිනාකම ආසන්නව රුපියල් ට්‍රිලියන 1.1 කි. මෙය සමස්ත තැන්පතු අතරින් සියයට 5.82 කි. 
මෙම වාර්තාවට අනුව 2018 සිට 2023 දක්වා මෙය පිළිවෙළින් බි. 543ක්, බි. 528ක්, බි. 696ක්, බි. 889ක්, බි. 1,060ක් සහ බි. 1,079 ක් ලෙස ඉහළ ගොස් තිබේ. 
එසේම ඉතුරුම් තැන්පතුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 4.61 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 24.24 කි. මෙහිදී බලපත්‍රලාභී වාණිජ බැංකු තුළ රුපියල් ට්‍රිලියන 4ක තැන්පතුද, බලපත්‍රලාභී විශේෂිත බැංකු තුළ රුපියල් බිලියන 421ක තැන්පතුද පැවතී තිබේ. එසේම මූල්‍ය සමාගම් තුළ ඉතුරුම් තැන්පතුවල වටිනාකම රුපියල් බිලියන 40කි. මීට අමතරව සමූපකාර ග්‍රාමීය බැංකු තුළ එය රුපියල් බිලියන 74 කි. 
එම තැන්පතු 2018 සිට 2021 දක්වා ට්‍රිලියන 2.26ක්, ට්‍රි. 2.47ක්, ට්‍රි. 3.27ක්, ට්‍රි. 3.89ක් දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් 2022 දී ට්‍රිලියන 3.82ක් දක්වා පහත වැටී පසුව 2023 දී ට්‍රි. 4.39ක් බවට පත්ව තිබේ. 
මේ අතර 2024 වසර වනවිට පැවැති ස්ථාවර තැන්පතුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 13.3 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 69.94 කි. 
මෙහිදී බලපත්‍රලාභී වාණිජ බැංකු තුළ තිබූ තැන්පතුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 10.5 කි. එසේම බලපත්‍ර ලාභී විශේෂිත බැංකු තුළ එය රුපියල් ට්‍රිලියන 1.5 ක් වෙයි. මූල්‍ය සමාගම් තුළ එය රුපියල් ට්‍රිලියන 1.0 ක් ලෙස සටහන්ව තිබේ. එසේම සමූපකාර ග්‍රාමීය බැංකු තුළ එය රුපියල් බිලියන 153 කි. 
එම තැන්පතුවල වටිනාකම 2018 සිට 2022 දක්වා කාලය තුළදී රුපියල් ට්‍රිලියන 6.32ක්, ට්‍රි. 6.89ක්, ට්‍රි. 7.82 ක් ට්‍රි. 8.51ක් සහ ට්‍රි. 11.3 ක් දක්වා ඉහළ නැග තිබේ. එහෙත් 2023 දී එය ට්‍රිලියන 11.15ක් දක්වා පහත වැටී ඇති අතර, 2024 දී එය මෙලෙස ට්‍රිලියන 13.32ක් බවට පත්ව තිබේ.