බැංකු රු.බි. 901ක ණය දුන්නත් ආර්ථිකයට අවදානමක් නැහැ


පළමු මාස 7දී පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය සියයට 19.6 කින් වර්ධනය වෙලා
ජ‌ූනි මාසයට සාපේක්ෂව ජ‌ූලි මාසයේදී මෙරට පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය රුපියල් බිලියන 201.5 කින් පුළුල් වෙලා
මූල්‍ය අරමුදල රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, මීළඟ මාස 12 සඳහා වන ඉලක්ක, මූල්‍ය ප්‍රතිපත්ති, පිරිවැය මිලකරණය ආදී කරුණු රාශියක් සාකච්ඡා කරලා
තෙවැනි කර්තුවේදීද පළමු හා දෙවැනි කාර්තුවල අත් කරගත් වර්ධනයට සමාන ආර්ථික වර්ධනයක්
මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළෙන් බිලියන 1.2 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මිලදී අරන්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට රුපියල් බිලියන 901 මුදලක් ණය ලෙස ලබාදී තිබුණත්, ඉන් මෙරට ආර්ථිකයට අවදානමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (24) ප්‍රකාශ කළේය.
මෙම වසරේ පළමු මාස 7තුළදී පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය සියයට 19.6 කින් වර්ධනය වී තිබෙන බවත්, එම ණය පෞද්ගලික අංශයේ සියලු‍ම අංශ ආවරණය වන පරිදි වඩාත් පුළුල් ලෙස ලබාදී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී මෙරට පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය රුපියල් බිලියන 201.5 කින් පුළුල් වී තිබෙන බවද මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය පහළ ගොස් තිබෙන බැවින් පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය වීමෙන් මෙරට ආර්ථිකය අවදානමක් එල්ල නොවන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති පොලී අනුපාතය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මහ බැංකුවේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
මීළඟ සමාලෝචනය සඳහා සමාලෝචන වාර්තාව සකස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ තිබෙන බවත්, ඔවුන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, මීළඟ මාස 12 සඳහා වන ඉලක්ක, මූල්‍ය ප්‍රතිපත්ති, පිරිවැය මිලකරණය වැනි කරුණු රාශියක් පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
එම සාකච්ඡාවල ප්‍රතිඵලය මත සමාලෝචන වාර්තාව සකස් වනු ඇති බවත්, අයවැය සම්මත කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැත්වෙන මීළඟ සමාලෝචනය සිදු කෙරෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත්, දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව 4.9 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ඒ අනුව මෙම වසරේ පළමු භාගයේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් එය ඉතාමත් සැලකිය යුතු ප්‍රගතියක් සහිත ආර්ථික වර්ධන වේගයක් බවත් ඔහු පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබුණේ ශ්‍රී ලංකා මෙම වසරේදී සියයට 3.1ත් 3.2ත් අතර ආර්ථික වර්ධනයක් ළඟා කරගනු ඇති බව යැයි ඔහු පෙන්වා දුන්නේය.