- තිස්සමහාරාමයේ බුටික් හෝටලයක් ඉදිකිරීම ආයෝජන එකඟතාවේ අරමුණයි
- ඉහළ සහ මැදි මට්ටමේ සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කරගත් ව්‍යාපෘතියක්
- දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කෙරුණු කාමර 72ක්
භානුක අමරසිංහ
තිස්සමහාරාමයේ, කොහොඹ-ගස්පැලැස්සේ පිහිටි භූමියක ඉදිකරන සුඛෝපභෝගී බුටික් හෝටලයක් සඳහා බ්ලොසම් වෙල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ ආයෝජන මණ්ඩලය අතර එකඟතාවක් අත්සන් තැබුණු බව පවසයි. මෙම ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2.99 කි.
යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ ඉදි කෙරෙන මෙම බුටික් හෝටල් ව්‍යාපෘතිය ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයන් වෙත අවධානය යොමු කරමින් ඉහළ සහ මැදි මට්ටමේ සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කර ගත් ව්‍යාපෘතියක් වන බව පැවසෙයි.
මෙම හෝටල් ව්‍යාපෘතිය සතුව දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කෙරුණු කාමර 72ක් පවතින බවත් එම සමාගම සඳහන් කරයි. එහි ඉදි කෙරෙන ආපණශාලාව තුළ 120 දෙනකුට එක්වර අසුන් ගැනීමේ හැකියාව පවතී. මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීමේදී හරිත බලශක්තිය, සූර්ය බලශක්තිය, අපද්‍රව්‍ය පාදක බලශක්ති උත්පාදනය ඇතුළු කාබන් ශුන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාම අදහස වී තිබේ.