බළපිටියේ කොහෝ ලණු කර්මාන්ත ශාලාවේ කොහුවුණු කතාව


 

  • එදා මේ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක, සේවිකාවන් අසූව අද දෙකට බැහැලා
  • මෙහි තිබූ වටිනා මැෂින් කිහිපයක්ම වෙන්දේසියේ විකුණලා
  • එක එක අය මැෂින්වල යකඩ කෑලී හොරකම් කරගෙන යනවා
  • කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ වහළ අබලන්
  • කර්මාන්ත ශාලාව යළි නවීකරණය කරලා අලු‍ත් විදිහට වැඩ පටන්ගත්තොත් බළපිටියේ රැකියා වියුක්තිට හොඳ උත්තරයක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ බළපිටිය එස්.ඒ.වයි.ද සිල්වා


එදා බළපිටිය බැබලවූ කර්මාන්ත ශාලා රැසක්ම තිබිණ. මේ කර්මාන්ත ශාලා නිසා බලපිටියට රටෙන්ම ලැබුණු තැන ඉහළය. බළපිටිය බැබළවූ කර්මාන්ත ශාලා අතරින් ප්‍රධානතම තැනක් ගත් කර්මාන්ත ශාලා දෙකකි. එකක් බලපිටිය වැලිවත්ත පේෂ කර්මාන්ත ශාලාවය. අනෙක බලපිටිය කොහු කර්මාන්ත ශාලාවය.

දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනු ලබන බලපිටිය කොහු කර්මාන්ත ආයතනය අද තිබෙන්නේ නොතිබෙන්නාක් මෙනි. වැසීයාමට ඔන්න මෙන්නය. එය සාක්ෂාත් වන්නේ එදා මේ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක, සේවිකාවන් අසූව දෙකට බැසීමත් සමගමය. බලපිටිය පේෂකර්මාන්ත ශාලාව මෙන්ම බළපිටිය කොහු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනද රටටම බෙදා හැරියේය. මේ කර්මාන්ත ශාලාවෙන් එදා නිෂ්පාදනය කෙරුණේ කොහු පාපිසිය,කොහු බුරුසුය. එදා මේ කර්මාන්ත ශාලාව කාර්ය බහුලව තිබිණ. එහෙත් අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය.

පිටුපස දොරක් නැති අයුරු.


 අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද හිමි:-

අපි පොඩි කාලේ අපේ ගෙවල්වල පාවිච්චි කළේ බළපිටියේ කොහු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ පාපිස්ස. ඒ පාපිසි ඉතාම උසස් මට්ටමෙන් නිෂ්පාදනය කෙරුණා. ඒ නිසා කිරමේ අපි විතරක් නෙමෙයි අනෙක් ගම්නියම් ගම්වලත් බළපිටියේ පාපිස්සට තිබුණේ පුදුම ඉල්ලු‍මක්. එවන් සම්පතක් විනශවී යාමට ඉඩ හැරිය බලධාරින් පිළිබඳව ඇත්තේ අපිට කණගාටුවක්. මේ ස්ථානය බළපිටියට එදා නැතිවම බැරි තැනක් වුණා. කොච්චර නම් රස්සාවල් කරාද.කීදෙනෙක් යැපුණාද. අද මේ කර්මාන්ත ශාලාවේ හොඳට තියෙන්නේ එළියේ සවි කරලා තියෙන දැන්වීම් පුවරුව විතරයි. අනෙක් ඒවා ගන්න දෙයක් නැහැ. 

දැනට මෙහි තියෙන වටිනා මැෂින් කිහියක්ම වෙන්දේසියේ විකුණලා වැඩක් නැහැ කියලා. මේ ආකාරයට මැෂින් වෙන්දේසියේ විකිණෙනවා. වෙන්දේසිකරුවන් ගන්නේ මේ මැෂින් වලින් වැඩක් ගන්නයි. මේ යන විදිහට ගියොත් මේ කර්මාන්ත ශාලාවේම තියෙන මැෂින් ටිකම වෙන්දේසියේ ගිහිල්ලා මේ සම්පත බළපිටියට නැතිවෙයි.

එස්. ප්‍රියංකා:-

මම මේ ආයතනයේ අවුරුදු තිහ හතළිහක් පමණ වැඩ කළා. එදා මේ කර්මාන්ත ශාලාවේ සේවක,සේවිකාවන් පිරිලා හිටියා. ආයතනයේ හැම මැෂිමක්ම වැඩ. ලොරි එනවා අපි නිෂ්පාදනය කරපු පාපිසි පටවාගෙන යනවා. දැන් මේ ආයතනයේ පාපිසි ගහන්නේ නැහැ. කරන්නේ ලණු පැදුරුවලට අවශ්‍ය ලණු නිෂ්පාදනය කරන එක විතරයි. ඒ කාර්ය කරන්නේ අපි දෙන්නයි, තුන් දෙනයි. පාපිසි හදන මැෂින් තියෙනවා. ඒ වගේම අනෙක් වැඩ කරන මැෂිනුත් තියෙනවා. 

මේ ආයතනයේ කොච්චර රැකියා තියෙනවද? බළපිටියේ රස්සාවල් නැති කීදෙනෙක් නම් ඉන්නවද? මේ ආයතනය නවීකරණය කරලා  ඒ අයට රැකියා දෙන්න පුළුවන්. මේ වගේ ආයතනයක් මේ ආකාරයට විනශ වෙලා යනකම් බලන් ඉන්න එක මහපොළව නුහුලන අපරාධයක්. දැරිය නොහැකි පාඩුවක්. අභාවයට යන කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන මේ ආයතනයෙන් පටන් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.

එස්. රූපිකා :-

මමත් මේ ආයතනයේ ගොඩක් කලක් ඉඳලා සේවය කරනවා. අපි ලංකාවටම දෙන්න කොච්චර නම් පාපිසි නිෂ්පාදනය කරන්න ඇද්ද? සේවක පිරිස එකට එකතුවෙලා කඩියෝ රැළ වගෙයි වැඩ කළා. දැන් මාත් එක්කම දෙන්නයි වැඩ. අපි දෙන්නත් මේකෙන් අයින්වුණු දාට මේ කර්මාන්ත ශාලාව ඉබේම වැහිලා යාවී. ඒ නිසා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ කර්මාන්ත ශාලාව රැකලා දෙන්න කියලා.

ටී.එච්. සුමනසේන:-

මේ කර්මාන්ත ශාලාවට මෙහෙම වෙන්න ඕන තැනක් නෙමෙයි. කර්මාන්ත ශාලාවේ පිටුපස තියෙනවා අක්‍රීය වෙච්ච මැෂින්වල යකඩ. ඒ පැත්තේ දොර විනාශවෙලා ගිහිල්ලා නිසා එක එක අය කවුරුත් නැති වෙලාවට ඒ මැෂින්වල යකඩ කෑලී හොරකම් කරගෙන යනවා. තව දුරටත් මේ තැන යකඩ තිබුණොත් එකම යකඩ කෑල්ලක්වත් එතනින් සොයා ගන්න බැරිවේවි. වහාම මේ සොරකම නවත්වන්න පියවර ගන්න.

බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් අසේල:-

ඇත්තටම මේ  බලපිටිය කොහු කර්මාන්ත ශාලාව රැකගත යුතු සම්පතක්. මේ ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ වහළ අබලන් වෙලා. මුලින්ම කරන්න ඕන මේ ගොඩනැගිල්ල ආරක්ෂා කර ගන්න එක. මේ ගොඩනැගිල්ලේ ආරක්ෂිත කම්බි දැල් දිරීමෙන් විනාශ වෙලා ගිහිල්ලා. අද කාලයේ හැටියට මේ වගේ ගොඩනැගිල්ලක් හදන්න කෝටි ගණනක ජාතික ධනය යට කරන්න වෙයි. 

බලපිටියේ ස්වේච්ඡා සමිති සමාගම් රැසක ක්‍රියාකාරී සාමාජිකයකුවූ විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරී නිමල් කනකරත්න:-

මේ කර්මාන්ත ශාලාව යළි නවීකරණය කරලා අලු‍ත් විදිහට වැඩ පටන්ගත්තොත් බලපිටියේ රැකියා වියුක්ති ප්‍රශ්නයට හොඳ උත්තරයක් සොයා ගන්න පුළුවන් වේවි. මේ ආයතනයට මේ අවාසනාවන්ත ඉරණම අත්වෙන්න හේතුවක් තමයි අලු‍ත් පරම්පරාව මේ වගේ රැකියාවලට අනුගත නොවීම. ආකර්ෂණීය දීමනාවක්, ආකර්ෂණීය වැටුපක් ලබා දෙනවානම් බලපිටියේ තරුණ තරුණියන් මේ ආයතනයේ රැකියාවට වැල නොකැඩී ඒවී. මොකද නගරයේ රැකියාවල්වලට යනවට වඩා ගමේ ආයතනයක රැකියාවකට යන එක ඒ අයට ලොකු වාසියක් වෙන නිසා.

බළපිටිය ප්‍රාදේශීය සභාපති අනුරුද්ධ මහවැලි මහතාගෙන් විමසූ විට මෙසේ කීවේය.

බලපිටියේ කිසිදු රාජය ආයතනයක් වහන්න දෙන්නේ නැහැ. මේ කොහු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙනුත් ඒ අදහස තමයි තියෙන්නේ. අපි මේ කර්මාන්ත ශාලාව බේර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ. මේ කොහු කර්මාන්ත ශාලාව පිළිබඳව බලපිටිය සම්බන්ධීකරණ කමිටු සභාපතිනිය වගේම ගාලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මියගේ අවධානය යොමු කරවලා මුදල් ටිකක් පාස් කරවගෙන මුලින්ම අබලන්වෙලා තියෙන ගොඩනැගිල්ල අලු‍ත්වැඩියා කරවගන්නවා. ඊට පස්සේ මේ ස්ථානයෙන් නිෂ්පාදනය කරන ලණු වලින්ම ලණු පැදුරු නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මැෂින් දෙකක් පමණ ගේනවා. ලණු පැදුරුවලට ඉහළ ඉල්ලු‍මක් තියෙනවා. ඒ වැඩපිළිවෙළ සාර්ථක නම් හොඳට යනවනම් තවත් මැෂින් ගේනවා. ඊට පස්සේ පුරුදු පරිදි පාපිසි නිෂ්පාදනය, බුරුසු නිෂ්පාදනය කිරීම වැනි කර්මාන්ත මේ කර්මාන්ත ශාලාවෙන් පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා.