අක්කර 30000 කට වැඩි එළවළු පලතුරු වගාබිම් ප්‍රමාණයක්
වගාවේ නිරත පිරිස 20000 කට වැඩියි
රටේ සමස්ත එළවළු නිෂ්පාදනයට සියයට 45 කට ආසන්න දායකත්වයක් සැපයෙන්නේ කල්පිටියෙන්
නියමිත ප්‍රමිතියෙන් යුතු බීජ සොයා ගැනීම මේ පිරිසට මහත් ගැටලුවක්
මේ වගාකරුවන් කිසිදු අවස්ථාවක සහනාධාර ඉල්ලා නෑ
අස්වැන්න අලෙවි කිරීමට පැමිණෙන නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ පවතින අවම පහසුකම් තවත් ප්‍රශ්නයක්
මෙම වගාකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට දේශපාලනඥයන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබිම තවත් කරුණක්
අවුරුද්දේ වැඩි කාලයක් අස්වැන්නට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ
සටහන ඡායාරූප - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
රටේ එළවළු අව්‍යශතාවෙන් සියයට 40 කට වැඩි දායකත්වයක් දක්වනුයේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කල්පිටිය අර්ධද්විපයෙනි. අක්කර 30000 වැඩි එළවළු හා පලතුරු වගාබිම් ප්‍රමාණයක වගාකරුවෝ 20000 කට වැඩි පිරිසක් දෛනිකව මේ වගාබිම් සරුකරති.
කල්පිටිය අර්ධද්විපය පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කලපුවෙන් හා මුහුදින් වටවු වෙනම කලාපයක් වීම නිසා එය සුවිශේෂ භුවිෂමතාවකින් යුත් කලාපයක් විමද තවත් අතකින් විශේෂ වෙයි.
රටේ සමස්ත එළවළු නිෂ්පාදනයට සියයට 45 කට ආසන්න දායකත්වයක් සැපයෙන්නේ කල්පිටිය අර්ධද්වීපයෙන් වන අතර එවන් දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානම කලාපයද වෙයි.
කල්පිටියේ වගා බිම්වල එළවළු හා පලතුරු අස්වැන්න තඹුත්තේගම, දඹුල්ල, කොළඹ ඇතුළු රටවටා දෛනිකව රැගෙන යාම නොරෝච්චෝල ආර්ථීක මධ්‍යස්ථානයට පැමිණෙන ලොරි ඇතුළු විවිධ වාහනවලින් සිදුවෙයි.
කල්පිටියේ එළවළු වගාව ආරම්භ වන්නේ වෙනස්ම ආකාරයටය. මිගමුවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් කල්පිටියේ කස වැල්ලේ සිංහල දුම්කොළ වගාව ආරම්භ කරන්නේ 1960 දශකය මැදය.
සිංහල දුම්කොළ වගාවට මීගමුවේ සිට පැමිණි පිරිස් කල්පිටියේ ඔවුන්ට පහසු ස්ථානවල තම හැකියාව මතු කරමින් සිංහල දුම්කොළ වගාව ආරම්භ කරන අතරතුරදී ක්‍රමයෙන් මිරිස් වගාවටද යොමුවී ඇති බව පැරැණ්නෝ පවසති.
සිංහල දුම්කොළ වගාවට වැල්ලේ කපා ගත් කුඩා ළිංවල ජලය ගාල් කළයෙන් යොදමින් එම වගාව ක්‍රමයෙන් සරුකරමින් සිටි මෙම වගාකරුවන් මිරිස් වගාව ආරම්භ කරද්දී එයට අලුත් යමක් එක්කරන්නටද අමතක නොකළ බව පැවසෙයි.
ඒ මිරිස් වගාවට අමතරව මෙම කස වැල්ල ගව පොහොර යොදමින් සරුකර එයට ගැළපෙන එළවළු හා පලතුරු වගාකරමින් විවිධ අත්හදා බැලිම්වල නිරත වීමය. මෙම භුමියේ ඕනෑම දෙයක් වගා කිරීමට සුදුසු බවට අතීතයේ පිරිස් සනාථ කිරීම වත්මන් පරපුරට අලුත් දායදයක් එක්කිරීමකි. කල්පිටියේ එළවළු වගාවට යොමු විම සිදුවන්නේ 1980 දශකයේ සිටය.
ඉන් පසුව නුවරඑළියේ දැඩි සිතලට ඔරෝත්තු දෙමින් සරුසාර වූ ගෝවා කල්පිටියේ වගා කිරීම මහත් ආශ්චර්යක් වි තිබුණි. එයින්ද නොනැවති මල් ගෝවා ඇතුළු විවිධ එළවළු පලතුරු මේ බිම්වල වගා කිරීම බෝහෝ දෙනකුට අස්වැසිල්ලක් වී තිබුණි.
අතීතයේ සුළු පිරිසකට සිමාවූ වගාව පසුව ක්‍රමයෙන් කල්පිටිය අර්ධද්විපය පුරාම පැතිරී ගොස් ගිනි ගහන කස වැල්ල එකම වගා බිමක් බවට පත් විමට ගතවූයේ සුඵ කාලයකි.
1980 පමණ වන විට විවිධ වගා යොදමින් කල්පිටිය බිම් සරු කිරීමට ඔවුන් කටයුතු කර තිබුණේ වැලි තලාවෙන් වැසී ගිය භුමියෙන් භාගයකටත් වැඩි බිමක් නිල්ල ගැසුණ වගා බිමක් බවට පත් කරමිනි.
අද වන විට ගුවනින් දකින අයකුට එය නිල්ල ගැසී ගිය එකම බිමක් බවට දිස්වන්නේ ඒ තරමටම මේ අර්ධද්විපය පුරා කිසිදු ස්ථානයක් හිස් නොවන ලෙස එකම වගා බිමක් ලෙස පරිවර්තනය කර තිබිම නිසාවෙනි. අද වන විට මේ වගා බිම්වල වගා නොකරන එළවළුවක් නැත.
ඒ අනුව වැටකොළු, පතෝල, කරවිල, වම්බටු, මාළු මිරිස්, හින් මිරිස්, ගෝවා, මල් ගෝවා, පිපිඤඤා, බණ්ඩක්කා, බටානා, ගස්ලබු, බිට්රුට්, රාබු, රතුලූනු, ගර්කින්, කිලෝ පේර, ඇතුළු තවත් එළවළු පලතුරු වර්ග රැසක් මේ ගිනි ගහන අව්වේ සාරවත් කරමින් රට පෝෂිත කිරීමට මේ වගාකරුවෝ මහත් වෙහෙසක් ගනිති.
එහෙත් මේ සියල්ල එලෙස සිදුවුවද අද වන විට නියමිත ප්‍රමිතියෙන් යුතු බීජ සොයා ගැනීම මේ පිරිසට මහත් ගැටලුකාරි තත්වයක් මතු කර ඇත. වෙළෙඳපොළේ ඇති බීජ වර්ග අදාළ ප්‍රමිතියෙන් තොර වීම එයට ප්‍රධාන හේතුවක් බව වගාකරුවෝ පවසති.
එසේම තම වගාවට කිසිදු අවස්ථාවක සහනාධාර ඉල්ලා නැති මේ වගාකරුවන් ඉල්ලා සිටින්නේ සියලුම වගාකරුවන්ට ලබා ගත හැකි ලෙස පොහොර මිල යම් තරමින් හෝ පහත දැමීමක් කළ යුතු බවය.
එසේම කල්පිටියේ සමස්ත එළවළු හා පලතුරු අස්වැන්න රැගෙන එය අලෙවි කිරීමට පැමිණෙන නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ පවතින අවම පහසුකම් දශක කීපයක සිට කිසිදු රජයක නිසි අවධානයක් යොමු නොවීම බරපතළ තත්වයකි.
සියල්ල හමුවේ කල්පිටිය ගොවීන් කලින් කලට පැමිණි දේශපාලනඥයන් වෙනුවෙන් කැපවීම් කර තිබුණද දේශපාලනඥයන් මෙම වගාකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබිම තවත් කරුණකි.
තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වගාකරුවෝ මෙලෙස පැවසූහ.
දේශීය හා විදේශීය වෙළෙඳපොළට එළවළු සැපයීම් කරනු ලබන වගාකරුවකු වන සශීක පුෂ්පකුමාර මෙසේ පැවසීය.
මම දැන් වසර 30 කට වැඩි කාලයක් පුරාවට ගොවිතැන් කරන වගාකරුවෙක්. ගෙවි ගිය කිසිම රජයක් කල්පිටියෙ ගොවියාගේ ගැටලුවලට කිසිම පිළිතුරක් ලබා දීලා නැහැ. ඒකට හොඳම කරුණ තමයි අඩුම තරමින් අපිට වගාවට වුවමනා ප්‍රමිතියෙන් යුත් බිජ ටිකවත් මේ වන විටත් නොලැබිම.
ඒවාත් අපි ලබා ගන්නේ පෞද්ගලික වෙළෙඳසල්වලින් ගිනි ගානට. කිසිම රජයක් මේ ගැන තවමත් සොයා බලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අලුත් රජය කල්පිටිය වගාකරුවන් වෙනුවෙන් යමක් කරයි කියලා. කටයුතුවල නිරත වෙන්නේ.
එළවළු හා තවත් වගා රැසක නිරත වී සිටින දළුව ප්‍රදේශයේ වගාකරුවකු වන සංජීව ප්‍රනාන්දු මෙසේ පැවසීය.
“මම අවුරුදු 20 කට වැඩි කාලයක් එළවළු හා අනිකුත් වගාවල නිරත වන වගාකරුවෙක්. අපි පුදුම ප්‍රශ්න ගොඩක් මැද මේ වගා කරන්නේ. කාලයකට අපි හොඳ මිලක් එළවළු හා අනික් වගා සඳහා ගත්තත් අවුරුද්දේ වැඩි කාලයක් අපේ වගාවල අස්වැන්නට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ.
මේ වෙද්දි රසායනික පොහොර බාලයි. ඒ මදිවට කෘෂි රසායනික හා අනිකුත් දෑ තත්වයෙන් බාලයි. මේ නිසා හරියට වගාවක් කරන්න අපි ලොකු වෙහෙසක් ගන්නවා. මොකද වගාව අත හැරලා අපිට වෙන කරන්න දෙයක් නැති නිසා. දිගටම වගාවේ නිරත වෙන්නේ සියලු දේවල් දරාගෙනයි.
දශක ගණනාවක එළවළු වගාකරුවකු වන, දළුව ප්‍රදේශයේ පදිංචි ගාමිණී ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය.
“එළවළු වගාව එන්න එන්නම අමාරු වෙලයි තියෙන්නේ. අපි දරන වියදම කිසිම ලෙසකින් පියව ගන්න බැරි වෙලා. ඉඳලා හිටලා මිල ඉහළ ගියත් වැඩිපුරම වෙන්නේ පාඩු තමයි. ඒ නිසා ලොකු ගැටලුවක් අපිට වෙලා තියෙන්නේ. පසුගිය කිසිම රජයක් මේ ගැන සොයා බැලීමක් කර නැහැ. මේ නිසා කල්පිටියේ වගාකරුවන් හිතුමතේ තමන්ට වුවමනා ලෙස තමයි වගා කරන්නේ.
තවත් ගැටලුවක් තමා වගා බිම්වලට රෝගයක් පැතිරුණාම මුළු වගා සේරටම පැතිරිලා විනාශ වුණාට පස්සේ තමා නිලධාරීන් එන්නේ. එවැනි ප්‍රශ්නත් එක්ක තමයි වගා කරන්න වෙන්නේ.