- වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්වය බදු බලපෑමෙන් පොතක මිල සියයට 20 කින් ඉහළට
- බදු අනුපාත පහත දමන්න වසරක් පුරා වත්මන් රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර නෑ
භානුක අමරසිංහ
පොත් ප්‍රකාශන කර්මාන්තය සම්බන්ධයෙන් 2024 වසරේ සිට පනවා ඇති අගය මත එකතු කළ බදු (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු හේතුවෙන් මේ වනවිට කර්මාන්තය මෙන්ම පොත් අලෙවියද සැලකිය යුතු අන්දමින් පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පොත් සම්බන්ධයෙන් පවතින මෙම බදු ඉවත් කිරීමක් හෝ බදු අනුපාත පහත දැමීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමන් වසරක් පුරා වත්මන් රජයෙන් ඉල්ලා සිටින නමුත්, මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා ලංකාදීප fT වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
“අද වෙන කොට සියයට 18ක VAT බද්ද වගේම සියයට 2ක් වන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දකුත් මේ පොත් සම්බන්ධයෙන් අය කෙරෙනවා. ඒ කියන්නේ පිරිවැය ආවරණය කරගන්න ප්‍රකාශකයාට පොතේ වටිනාකමට තවත් සියයට 20ක් යොදන්න වෙනවා. මෙය පාඨකයාට අසාධාරණයක්. ඒ වගේම මේ බදු පැනවීම නිසා දරුණු හානි සිදු වෙලා තිබෙන්නේ කුඩා පරිමාණ පොත් ප්‍රකාශකයන්ටයි.“
සභාපතිවරයාට අනුව අද වනවිට රට තුළ පොත් සාප්පු පවත්වාගෙන යන මහා පරිමාණ පොත් ප්‍රකාශන ආයතන, මෙම බදු ගැටලුව නිසා කුඩා ප්‍රකාශන ආයතන මගින් ප්‍රකාශයට පත් කරන පොත් සඳහා වැඩි වට්ටම් ඉල්ලීම මෙම ගැටලුව තවත් දරුණු කර තිබේ.
“රජයේ මේ බදු කුඩා පරිමාණ පොත් ප්‍රකාශකයන්ට බලපාන්නේ නෑ. මොකද ඔවුන් VAT ලියාපදිංචි වී නැති නිසා. එහෙත් ඔවුන්ට තමන්ගේ පොත් අලෙවි කරගන්න වෙන්නේ මෙවැනි මහා පරිමාණ ප්‍රකාශන ආයතන සතු අලෙවි සල් හරහායි. එතැනදී VAT ලියාපදිංචි මහා පරිමාණ ආයතනවලට මේ සියයට 20ක බදු අය කරන්න වෙනවා.
එය පියවා ගන්න ඔවුන් කුඩා පරිමාණ පොත් ප්‍රකාශකයන් දැනට ලබා දෙන සියයට 40ක වට්ටම සියයට 50ක් ලෙස ලබා දෙන්න ඉල්ලනවා. එහෙම නොදෙන පොත් ඔවුන් අලෙවි කරන්න භාර ගන්නෙත් නැහැ. එය ඔවුන්ගේ පැත්තෙන් අසාධාරණත් නැහැ.“ සභාපතිවරයා පවසයි.
අද වනවිට එම සංගමයේ සාමාජිකත්වය දරන පොත් ප්‍රකාශන ආයතන සංඛ්‍යාව 170කි. තවත් ප්‍රකාශන ආයතන 100ක් පමණ එම සංගමයේ සාමාජිකත්වය ඉල්ලා ඇතැයිද සඳහන් වෙයි.
“පොත් ප්‍රකාශන කර්මාන්තය දැවැන්ත කර්මාන්තයක්. මීට කලින් පොත් සම්බන්ධයෙන් බදු අය කිරීමක් නොතිබුණත්, කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය හරහා රජයට සියයට 30ක පමණ බදු ප්‍රමාණයක් ගෙවනවා. ඒ කියන්නේ අපි දැන් දෙපාරක් බදු ගෙවනවා. එක්කෝ කලින් තිබුණු බදු තත්වයට මේ කර්මාන්තය ගෙන එන්න. එහෙමත් නැත්නම් මේ බදු යම් තරමකින් අඩු කරන්න කියලයි අපි කියන්නේ.“
බොහෝ සාර්ක් රටවල පොත් සඳහා බදු අය නොකරන බවත්, එංගලන්තයේ එය ශුන්‍යයක් බවත් ඔහු පවසයි. එසේම ඇමෙරිකාව, රුසියාව වැනි රටවල පවා මෙය සියයට 5ත් 7ත් අගයක් ගන්නා බව ඒ මහතා සඳහන් කරයි.
“මේ කර්මාන්තය වෙත නිසි පිළිගැනීමක් නොමැතිවීමත් තවත් අර්බුදයක්. අපි අයත් වෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශයටද, අධ්‍යාපන අමාත්‍යාංශයටද, ජනමාධ්‍ය අමාත්‍යාංශයටද එහෙමත් නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශයටද කියලා තවම පැහැදිලිතාවක් නැහැ.“ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.