බද්ද සියයට 20ට අඩුකළාට රබර් වෙළෙඳුන්ගේ ප්‍රසාදය



විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන රබර් නිෂ්පාදන සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සියයට 30 තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීම සඳහා සාර්ථකව රාජ තාන්ත්‍රික හා වෙළෙඳ සාකච්ඡා පැවත්වීම පිළිබඳව රජයට සිය ස්තුතිය පිරිනමන බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 

තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම රබර් කර්මාන්තය සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් පනයන පාදක අංශවලට සහාය වීම සහ ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළෙඳ තරගකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා රජයේ කැපවීම පිළිබඳ ප්‍රබල සාක්ෂියක් සපයන බවත් එම සංගමය පැවැසුවේය.

ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීමෙන් මෙරට රබර් නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට නව අවස්ථා විවර කරනු ඇති බවද කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය. එය ඇමෙරිකානු වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තැන ස්ථාවර කරනු ඇති බවත් මිල තරගකාරීත්වය වැඩි දියුණු කරනු ඇති බවත් එම සංගමය පැවැසුවේය. එසේම රබර් කර්මාන්තය පුරා වර්ධනය, ආයෝජන සහ රැකියා උත්පාදනය සඳහා නව සුබවාදී බලාපොරොත්තුවක් ලබාදෙන බවද කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දුන්නේය.

මෙම ප්‍රගතිය ලබා ගැනීමට දායක වූ වෙළෙඳ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් සියලු‍ම දෙපාර්තමේන්තුවලට සිය ස්තුතිය පිරිනමන බවත් ජාතික ආර්ථික අරමුණු සපුරා ගැනීම සඳහා රජය සහ කර්මාන්ත එකට එක්ව වැඩකරන විට සාක්ෂාත් කරගත හැකි දේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවන බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රධාන කොටස්කරුවකු වන රබර් කර්මාන්තය ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය, තිරසාරභාවය, වෙළෙඳපොළ වැඩි දියුණු කරගනු ඇතැයිද කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පැවැසුවේය.

කම්පනවලට ඔරොත්තු දෙන සහ ගෝලීයව තරගකළ හැකි රබර් කර්මාන්තයක් ගොඩනැගීම සඳහා රජය සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බවද එම සංගමය ප්‍රකාශ කළේය.