පෙරේරා ඇන්ඩ් සන්ස් 123 වැනි සංවත්සරය සමරයි



පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S, (පෙරේරා ඇන්ඩ් සන්ස්) හි 123 වන සැමරුම පසුගිය ජූලි 17 වැනි දින අභිමානවත්ව සමරනු ලැබීය. 1902 දී කුඩා බේකරියක් ලෙස ආරම්භ කරන ලද P&S, මේ වන විට ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික ජීවිතයට ගැඹුරින්ම බැදුණු ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. එම උරුමය මවුපියන්ගෙන් දරුවාටත්, සීයාගෙන් මුණුබුරා දක්වාත් පරම්පරා ගණනාවක් පුරාවට ගොඩනැඟී තිබේ. දශක ගණනාවක් පුරා සිය පවුලේ ආදරණීයන් ආදරෙන් වැළඳගත් එම රසය අද වන විට බොහෝ තරුණ ශ්‍රී ලාංකිකයෝ රසවිඳිමින් සිටිති. දිවයින පුරා අලෙවිසැල් 227කට අධික සංඛ්‍යාවක් දියත් කරමින් P&S, සිය සන්නාමය පුළුල් ලෙස ව්‍යාප්ත කර තිබෙන අතර එහි සුපුරුදු විශ්වසනීය රසය සහ අව්‍යාජ රසයෙන් පිරුණු ආහාර සේවා නොවෙනස්ව පවතී.

මේ පිළිබඳ අදහස් දක්වමින් P&S, ව්‍යාපාරයේ ආරම්භක පවුලේ සිව්වන පරම්පරාවේ සාමාජිකයකු වන P&S,  කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “මෙම සංවත්සරය ඔස්සේ සිහිගැන්වෙන්නේ සියවසකට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට අපට සහයෝගය ලබා දුන් පුද්ගලයන්, අපගේ ගනුදෙනුකරුවන්, අප ආයතනයේ වටිනාකම ආරක්ෂා කළ සේවකයන් සේම අප සමගම වර්ධනය වූ ප්‍රජාව පිළිබඳවයි. පවුලේ පස්වැනි පරම්පරාව ද මෙම ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබෙන බැවින් පෞද්ගලිකව වගේම ව්‍යාපාරයක් වශයෙන් ද මෙම සංවත්සරය අපිට ගොඩක් වැදගත්. වසර 123ක් පුරාවට රස මතක එකතු කළ P&S, අව්‍යාජ දේශීය රසය තවමත් එලෙසින්ම පවතිනවා.”‍

සියවසකට වැඩි කාලයක් පුරාවට පාසල් දරුවකුගේ විවේක කාලයේ බනිස් එක ලෙස, පවුලේ සාදයකදී බෙදාහදා ගන්නා රසවත් කෙටි ආහාර ලෙස, උපන්දින කෑම මේසයේ රිබන් කේක් එකක් ලෙස, කාර්යබහුල දවසක රාජකාරී සගයන් සමග රසවිඳින රසවත් දිවා ආහාරය ලෙස හුදෙක් ආහාර වේලකින් ඔබ්බට ගිය රස මොහොතවල් රැසක් P&S, නිර්මාණය කර තිබේ.

මෙවර සංවත්සරය ‘දශක ගණනාවක රස මතකය‘ යන තේමාව මුල් කරගනිමින් සමරනු ලැබේ. එමඟින් ළමා කාලයේදී අප රසවිඳි කෙටි ආහාරයේ සිට ප්‍රියතම කෙටි ආහාරය ඔබ සමීපයේ තිබෙන විට දැනෙන සතුට දක්වා එදිනෙදා ජීවිතයේ ඇති වැදගත් මතකය පිළිබඳ ආවර්ජනය කිරීමට පාරිභෝගික සැමට ඇරයුම් කරයි. තරුණ - මහලු‍ සෑම ශ්‍රී ලාංකිකයකුටම සාඩම්බරයෙන් භුක්ති විඳිය හැකි හදවතට සමීප සන්නාමයක් ලෙස අද වන විට P&S, සිය ස්ථාවරය ගොඩනගා ගෙන සිටියි. 

TikTok සහ Instagram වැනි ඩිජිටල් වේදිකාවන් ඔස්සේ නැවුම් විනෝදාත්මක අන්තර්ගතය බෙදාගනිමින් සිය සන්නාමය තරුණ ප්‍රේක්ෂකයන් අතර ද ප්‍රචලිත කිරීමට P&S මෑතකාලීනව පියවර ගෙන තිබේ. නව විශේෂ නිෂ්පාදන, විනෝදජනක ක්‍රියාකාරකම් හා ‘Family First’ වැනි නවීන පාරිභෝගික පක්ෂපාතීත්ව වැඩසටහන් (loyalty programme) ඔස්සේ P&S සමඟ එකතු වීමට තරුණ පාරිභෝගිකයන්ට ආරාධනා කරයි.

තවද, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමාජ සුබසාධනය සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍ර වෙනුවෙන් සිය CSR වේදිකාව වන ‘මනු මෙහෙවර‘ හරහා දායකයත්වය දැක්වීමට ද වගකිවයුතු ආයතනයක් ලෙස P&S කටයුතු කරයි. P&S විසින් මනු මෙහෙවර යටතේ ග්‍රාමීය සහ පාසල් මට්ටමෙන් Reverse Osmosis (RO) බලාගාර මෙන්ම වැසි ජල එකතු කිරීමේ සහ පිරිසුදු කිරීමේ ඒකක ස්ථාපනය කර තිබේ. මෙම ව්‍යාපෘති ඔස්සේ වාර්ෂිකව පවුල් රැසක් වෙත පිරිසුදු පානීය ජල පහසුකම් සපයනු ලැබේ. SDG 6 (පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව), SDG 10 (අසමානතා අවම කිරීම) සහ SDG 12 (වගකීම් සහගත පරිභෝජනය සහ නිෂ්පාදනය) ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්ක රැසක් මෙම ප්‍රවේශය ඔස්සේ ආවරණය කරයි.