ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය නම් නව නීති


අංජුල මහික වීරරත්න


ඉදිරි අයවැය සකස් කිරීමේදී ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවේදී  අමාත්‍යවරයා මේ බව කීය කීය.
 කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත්දා මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන ආර්ථික  සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළහ. 
ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු, මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහ ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන  ක්ෂේත්‍රවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.