ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3 කින් අවප්‍රමාණය වෙලා
විමුක්ති එස්. රුද්‍රිගු
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව සියයට 7.75ක ප්‍රතිශතයේ පවත්වා ගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
දේශීය හා ගෝලීය වර්ධනයන් ඉතාමත් හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. වත්මන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉලක්කගත සියයට 5 උද්ධමන ඉලක්කයට ළඟාවීමට ප්‍රමාණවත් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ මතය යැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මාස 11 අවධමන තත්වය අවසන් කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමනය පසුගිය මාසයේදී ධන අගයක් ගත් බවද මහ බැංකුව පැවැසුවේය. ලබන වසරේ මැද භාගය වන විට ඉල්ලක්ක ගත සියයට සියයට 5 උද්ධමනයට ළඟාවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය. මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව පැවැසුවේය.
මෙම මාසයේ පළමු දින 21 තුළදී මෙරටට සංචාරකයන් 111,823 ක් මෙරටට පැමිණ තිබෙන බවත්, මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ආදායමක් උපයා තිබෙන බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය. එසේම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.1 ක මුදලක් මෙරටට ඒවා තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය.
එම අංශ දෙකම මෙම වසරේ පළමු මාස 8 දී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය. එසේම ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණය වී තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය.