ප්‍රතිනැව්ගතකිරීම් ඉහළ යාමෙන් කොළඹ වරායේ වර්ධනයක්


භානුක අමරසිංහ 

මැයි මාසයේදී කොළඹ වරාය තුළ සිදුකළ ප්‍රතිනැව්ගතකිරීම් ඉහළ යාමත් සමගින්ම වසර තුළ පළමුවරට ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට කොළඹ වරාය සමත්ව ඇතැයි වාර්තා පවසයි. 

මෙහිදී මැයි මාසය තුළ කොළඹ වරාය මගින් අඩි 20 බහාලු‍ම් ඒකක 573,366ක් ප්‍රතිනැව්ගත කිරීම සිදු කර ඇති අතර, එය මේ වසර තුළ මාසයක් සඳහා වාර්තා කළ ඉහළම අගය ලෙස සැලකෙයි. එසේම එය පෙර වසරේ මැයි මාසය හා සැසඳීමේදී සියයට 12ක වර්ධනයකි. 

කෙසේ වෙතත් 2024 වසරේ මෙම කාලසීමාව හා සැසඳීමේදී 2025 එම කාලසීමාව වනවිට සිදු කර ඇති බහාලු‍ම් ප්‍රතිනැව්ගතකිරීම් තවදුරටත් සියය‍ට 2.7කින් පහළ වැටී තිබේ. එසේම අප්‍රේල් මාසය වනවිට එය පෙර වසරේ එම කාලය හා සැසඳීමේදී සියයට 6.2ක පහළ වැටීමකි. 

මෙලෙස මැයි මාසය වන විට කොළඹ වරාය තුළ සිදුකළ ප්‍රතිනැව්ගත කිරිම්හි සිදු වූ ඉහළ යාම සැලකිය යුතු අවස්ථාවක් බව ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පවසති. එහෙත් කොළඹ වරාය සතු සමස්ත කාර්යක්ෂමතා මට්ටම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතුව ඇති බවත් ඔවුහු පවසති 

මේ අතර මැයි මාසයේදී කොළඹ වරාය වෙත පැමිණි නැව් සංඛ්‍යාව 398ක් ලෙස පෙර වසරේ මැයි හා සැසඳීමේදී සියයට 6.7ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, මැයි මාසය දක්වා එය සියයට 5.7ක වර්ධනයක් පෙන්නුම් කරමින් පැමිණි නෞකා සංඛ්‍යාව 2005ක් ලෙස සටහන්ව තිබේ.