පළමු මාස හයේ අපනයන ආදායම ඩො.බි. 8.33 ක්


  • අපනයන ආදායමේ සියයට 6.7 ක වර්ධනයක්
  • වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.බි. 6.50 දක්වා වර්ධනයක්
  • පළමු මාස හයේදී සේවා අංශයේ අපනයන ආදායම ඩො.බි.1.83 ක්
  • නි මාසයේදී අපනයන ආදායම ඩො.බි.1.46 ක් දක්වා වර්ධනය වෙලා. එය ඉතිහාසයේ නි මාසයක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම
  • අමෙරිකාවට පමණක් කළ අපනයනවලින් ජුනි මාසයේදී උපයා ගත් ආදායම ඩො. මි. 252ක්
  • අප්‍රිකානු රටවලට කළ අපනයනවල සියයට 58 ක වර්ධනයක්
  • ඇඟලු‍ම් සහ රෙදි පිළි අපනයන ආදායම ඩො.බි.2.59 ක්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස හය තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8.33 ක් බවත් එය මෙතෙක් වසරක පළමු මාස හය තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස හය තුළ මෙරට අපනයන ආදායම වූ ඇමරිකානු ඩොලර් බිලියන 7.81 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ මෙරට අපනයන ආදායම සියයට 6.7 කින් වර්ධනය වී ඇතැයිද විජේසිංහ මහතා පැවසුවේය.

පළමු මාස හයේදී විශේෂයෙන් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.50 ක් දක්වා වර්ධනය වී ඇති බවත් පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව එය සියයට 6.85 ක වර්ධනයක් බවත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස 6 දී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 6.14 ක් විය.

සේවා අංශයේ අපනයන ආදායම මෙම වසරේ පළමු මාස හය තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 1.83 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව සියයට 9.78 ක වර්ධනයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස හය තුළදී මෙරට සේවා අංශයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.66 ක් විය.

විශේෂයෙන් ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.46 ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් එය ඉතිහාසයේ ජුනි මාසයක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම බවත් මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. 

එසේම වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මෙම වසරේ පළමු මාස හය තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 1.15 ක් වූ බවත් සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309 ක් වූ බවත් විජේසිංහ මහතා පැවසුවේය. එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව සියයට 16ක  වර්ධනයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

ජුනි මාසයේ සමස්ත අපනයන ආදායම පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 8.7 කින් වර්ධනය වී ඇති බවද ඔහු පැවසුවේය.

අමෙරිකාවට පමණක් කළ අපනයනවලින් ජුනි මාසයේදී උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 252ක් බවත් එක්සත් රාජධානිය, ඉතාලිය, ඉන්දියාව, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය වැනි රටවලට සිදුකළ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
කලාප වශයෙන් ගත්විට යුරෝපා සහ මැද පෙරදිග වැනි කලාපවලට සිදු කළ අපනයන ජුනි මාසයේදී ඉහළ ගොස් තිබෙන බවද ඔහු පැවසුවේය.

අප්‍රිකානු රටවලට සිදුකළ අපනයන සියයට 58 කින් වර්ධනය වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම වසරේ අපනයන ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක් බවත් පළමු මාස හය තුළදී ඉන් ඩොලර් බිලියන 8.33 ක් උපයා අවසන් බවත් විජේසිංහ මහතා පැවසුවේය.

ඉදිරි මාස හය තුළදී මෙම වසරේ අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි සුබවාදීව විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

මෙරට අපනයන ආදායම මෙලෙස සැලකිය යුතු අන්දමින් වර්ධනය වීමට මෙරට අපනයනකරුවන් ජාත්‍යන්තර අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියට පැමිණීමත් අපනයන වෙළෙඳපොළ ප්‍රවේශය විවිධාංගීකරණය කිරීමත් හේතු වී ඇතැයි ඔහු පැවසුවේය.

මෙම වසරේ පළමු මාස හය තුළ ඇඟලු‍ම් සහ රෙදි පිළි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.59 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව සියයට 8.19 ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස හය තුළ මෙරට ඇඟලු‍ම් හා රෙදිපිළි අපනයන ආදායම ඩොලර් බිලියන 2.40 ක් ලෙස සටහන් විය.

මෙම වසරේ පළමු මාස හය තුළ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 743 ක් බවත් පසුගිය වසරේ පළමු මාස හයේදී ඉපැයු ඇමරිකානු ඩොලර් මිලියන 687 ට සාපේක්ෂව එය සියයට 8.16ක වර්ධනයක් බවත් ආයෝජන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

තවද මෙම වසරේ පළමු මාස හය තුළදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 467 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව එය සියයට 6.22 ක හැකිලීමකි.

පසුගිය වසරේ පළමු මාස හයේදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 498 ක් විය.

මෙම වසරේ පළමු මාස හය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 536 ක් වූ අතර පසුගිය වසරේ පළමු මාස හයේදී ඉපැයූ ඩොලර් මිලියන 405 ට සාපේක්ෂව එය සියයට 32.40 ක වර්ධනයකි.

මෙම වසරේ පළමු මාස හය තුළ වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳපොළෙන් වන අතර ඩොලර් බිලියන 1.43 ක ආදායමක් එම කාලසීමාවේදී ඇමෙරිකානු වෙළෙඳපොළෙන් උපයා ඇත.

පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයේදී ඇමරිකාවට කළ අපනයන සියයට 4.61 කින් වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය මාසයේදී ඇමරිකාවට සිදු කළ අපනයන සියයට 0.73 කින් පහළ ගොස් ඇත.

දෙවැනි ස්ථානයට වැඩිම අපනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ඉන්දියාවට වන අතර මෙම වසරේ පළමු මාස හය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 505 ක අපනයන ආදායමක් ඉන් උපයා තිබිණි. එය පෙර වසරට සාපේක්ෂව සියයට 26.54 වර්ධනයකි.

තෙවැනි ස්ථානයට වැඩිම අපනයන කර ඇත්තේ බි්‍රතාන්‍යයට වන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 483 ක ආදායමක් උපයා තිබුණේය. එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව සියයට 6.92 ක වර්ධනයකි.