- පළමු මාස අටේදී රුපියල් බිලියන 22.13 ක් හෙවත් රුපියල් කෝටි 2,213 ක ලාබයක්
- ලාබයෙන් රුපියල් මිලියන 500 ක් ආණ්ඩුවට දීලා
- මාස අටේදී ගුවන් යානා ඉන්ධන අලෙවි කිරීමෙන් රු. මි. 4,107 ක ලාබයක්
- තෙල් සංස්ථාවේ ලිහිසි තෙල් අලෙවි සියයට 40 කින් ඉහළ ගිහින්
- එදිනෙදා නැව් කටයුතු සඳහා ඩොලර් මිලියන 100 ක පමණ සංචිතයක්
යොහාන් භාසුර
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ ඛනිජ තෙල් පිරවුම්හල් ජාලය හරහා වෙළෙඳාම් කිරීමෙන් රුපියල් බිලියන 10.7 ක් හෙවත් රුපියල් කෝටි 1,070 ක ලාබයක් ලැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා ඊයේ (25) පැවසීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා එසේ පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 22.13 ක් හෙවත් රුපියල් කෝටි 2,213 ක ලාබයක් ලැබූ බවත් ඉන් සියයට 47 ත් 50 ත් අතර ප්‍රතිශතයක් ඉන්ධන මිල වැඩිකිරීමෙන් ලැබූ ලාබ නොවන බවත් රාජකරුණා මහතා මහතා කීය.
එම ලාබයෙන් රුපියල් මිලියන 500 ක් පසුගියදා ආණ්ඩුවට දුන් බව කී රාජකරුණා මහතා මෙම විශාල ලාබයට ප්‍රධානම හේතුව නිවැරදි මූල්‍ය පාලනය බව ද ඒ මහතා සඳහන් කළේය.
ගුවන් යානා ඉන්ධන අලෙවි කිරිමෙන් මෙම මාස අටේදී රුපියල් මිලියන 4,107 ක ලාබයක් ලැබූ බව කී සභාපතිවරයා පැවසුවේ පසුගිය වසරට සාපේක්‍ෂව ගුවන් යානා ඉන්ධන මීටර මිලියන 32.6 ක අලෙවිය ඉහළ ගොස් ඇති බවත්ය.
ඉන්ධන ගැනීමට පමණක් මෙරටට පැමිණි ගුවන් යානාවලට පමණක් ලීටර මිලියන 2.7 කින් ඉහළ ගිය බවත් සිංගප්පූරුව සහ ඩුබායිවල පවතින ගුවන්යානා මිලට ගැළපෙන ආකාරයට මෙරට ගුවන්යානා ඉන්ධන මිල සකස් කර තරගකාරී මිලක් ඉදිරිපත් කිරීමෙන් මෙම වර්ධනය ළගාකරගත් බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලිහිසි තෙල් අලෙවි සියයට 40 කින් ඉහළට ගෙන ඒමට වර්තමාන පරිපාලනයට හැකිවී ඇති බව කී සභාපතිවරයා පැවසුවේ ලිහිසි තෙල් අලෙවියෙන් පසුගිය මාස අටේදී රුපියල් මිලියන 209 ක ලාබයක් ලැබීමට හැකිවූ බවත්ය.
වර්තමාන පරිපාලනය මීට මාස 12 කට පෙර පරිපාලනය භාරගන්නා විට ලීටර 70,000 ක්ව පැවැති ලිහිසි තෙල් අලෙවිය මීටර ලක්‍ෂ 4 ක් දක්වා ගෙන ඒමට හැකිවූ බව ද ඒ මහතා සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 100 ක පමණ සංචිතයක් එදිනෙදා නැව් කටයුතු සඳහා පවත්වාගෙන යන බවත් එම සංස්ථාවේ සියලු සංවර්ධන කටයුතුවලට එහි මුදල් පමණක් වියදම් කරන බවත් ඒ මහතා කීය.
මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දියුණුව සඳහා තොග පවත්වාගෙන යෑමට තෙල් ටැංකි ස්ථාපති කිරීම, බෙදුම්කරුවන්, ඉන්ධන ඇණවුම්කිරීම සහ ඉන්ධන මිලදීගැනීමේ ටෙන්ඩර් ක්‍රමවේදය ඩිජිටල්කරණය, ඉන්ධන ප්‍රවාහන කිරීමේ නළ පද්ධති සංවර්ධන සහ සේවක පුහුණුව ආදි සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද රාජකරුණා මහතා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ද මෙම විශේෂ මාධ්‍ය හමුවට සහභාගි විය.