පවුලක ආහාර අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය මුදල රුපියල් 47,864ක්


  • පසුගිය මාසවලට සාපේක්ෂව යම්තාක් දුරකට ස්ථාවරවීමක්
  • මැයි මාසයේදී ශ්‍රී ලාංකික පවුලකට ආහාර නොවන කාණ්ඩයේ වියදම් සඳහා රුපියල් 57,415 ක මුදලක් වැයවෙලා
  • යල කන්නයේදී මෙරට වී අස්වැන්න ටොන් මිලියන 1.99 ක් වනු ඇතැයි ලෝක ආහාර වැඩසටහනෙන් පුරෝකථනයක්
  • එය පසුගිය වසරේ යල කන්නයට සාපේක්ෂව සියයට 0.6 ක වර්ධනයක්
  • මෙම වසරේදී මෙරට වී අස්වැන්න ටොන් මිලියන 4.6ක් වනු ඇතැයි දලෝක ආහාර වැඩසටහනෙන් පුරෝකථනයක්
  • පසුගිය වසරේ පළමු කාර්තුවේදී සියයට 0.9 ක වර්ධනයක් පෙන්නුම් කළ කෘෂි කර්මාන්තය මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 0.7 දක්වා හැකිළිලා
  • මෙම වසරේ ආර්ථික වර්ධනයට කර්මාන්ත හා සේවා අංශවලින් සැලකිය යුතු දායකත්වයක්
  • කර්මාන්ත අංශය සියයට 9.7 කින් හා සේවා අංශය සියයට 2.8 කින් පුළුල් වෙලා

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට පසුගිය මැයි මාසයේදී සාමාන්‍යයෙන් රුපියල් 47,864 ක මුදලක් වැයවී ඇති බවත් පසුගිය මාසවලට සාපේක්ෂව එය යම්තාක් දුරකට ස්ථාවරවීමක් වුවත් 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව එය සියයට 6 ක වර්ධනයක් බවත් ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

එසේම පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලාංකික පවුලකට ආහාර නොවන කාණ්ඩයේ වියදම් සඳහා රුපියල් 57,415 ක මුදලක් වැයවී ඇති බවත් පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව එය සුළු පහළ යමක් වුවත් පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව එය සියයට 3 ක පහළ යාමක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය මැයි මාසයේ වෙළෙඳපොළ දත්ත භාවිත කරමින් මෙරට වෙළෙඳපොළ හැසිරීම පිළිබඳව පසුගිය 31 වැනිදා ලෝක ආහාර වැඩසටහන මෙම වාර්තාව නිකුත් කළේය.

මෙම යල කන්නයේදී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලයන 1.99 ක් වනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන පුරෝකතනය කර ඇති අතර එය පසුගිය වසරේ යල කන්නයට සාපේක්ෂව සියයට 0.6 ක වර්ධනයක් බවද පෙන්වා දුන්නේය. එසේම මෙම වසරේදී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 4.6 ක් වනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත. එය පසුගිය වසරේ වී අස්වැන්නට සාපේක්ෂව සියයට 2 ක පහළ යාමක් බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

කර්මාන්ත ක්‍රියාකාරකම් මන්දගාමීව පුළුල් වීමත්, කෘෂි කර්මාන්තය හැකිළීමත් හේතුවෙන් මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය වර්ධනය වූ වේගය අඩුවී තිබෙන බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. පසුගිය වසරේ පළමු කාර්තුවේදී සියයට 0.9 ක වර්ධනයක් පෙන්නුම් කළ කෘෂි කර්මාන්තය මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 0.7 දක්වා හැකිළී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 5.1 ක් වූ බවත් එය මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 4.8 දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ ආර්ථික වර්ධනයට කර්මාන්ත හා සේවා අංශය සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවත් කර්මාන්ත අංශය සියයට 9.7 කින් හා සේවා අංශය සියයට 2.8 කින් පුළුල් වී ඇති බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව මෙම වසරේ මැයි මාසයේදී දේශීය තේ නිෂ්පාදනය සියයට 2.9 කින් ඉහළ ගොස් තිබෙන බවත් එයට හේතුව යහපත් දේශගුණික තත්වය බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය. කෙසේ නමුත් එම කාලයේදී කල්කටා තේ මිල සැලකිය යුතු ඉහළ යද්දී පෙර මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තේ මිල සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

මෙරට රබර් නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී පහළ යද්දී ගෝලීය රබර් නිෂ්පාදන මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. එසේම පොල් ආශ්‍රිත නිෂ්පාදන පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 1.2 කින් පහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

ආනයනික සුදු සහ රතු කැකුළු සහල් හැරෙන්නට අනෙකුත් සහල් වර්ගවල මිල පසුගිය මැයි මාසයේදී පහළ ගොස් තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය. පසුගිය මැයි මාසයේදී එළවළු මිල පහළ යනවිට පලතුරු මිල ඉහළ ගොස් ඇතැයිද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේ පරිභෝජන අවශ්‍යතා පිළිබඳව වෙළෙඳ හා පර්‌යේෂණ දත්ත සපයන ස්ටැටිස්ටා වෙබ් අඩවිය වාර්තාවක් පසුගියදා නිකුත් කළ අතර එහි සඳහන්ව තිබුණේ මෙම වසරේ ශ්‍රී ලංකාවේ පවුල් ඒකකයක අවසාන පරිභෝජන වියදම් සහ ඉතිරිකිරීම්වල එකතුව ඇමෙරිකානු ඩොලර් 3,930 ක් වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ මෙම වසරේදී සමස්ත පාරිභෝගික වියදම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 75.76 ක් වනු ඇතැයි එම වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.

මෙම වසරේදී ආහාර සහ මද්‍යසාර නොමැති පාන වර්ග සඳහා ශ්‍රී ලාංකිකයකු ඇමෙරිකානු ඩොලර් 977.53 ක මුදලක් වියදම් කරනු ඇතැයි එම වෙබ් අඩවිය අපේක්ෂා කරයි. එසේම ශ්‍රී ලාංකිකයකු නිවාස අවශ්‍යතා සඳහා ඇමෙරිකානු ඩොලර් 303.18 ක් සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් 143.88 ක් මෙම වසරේදී වියදම් කරනු ඇතැයි ස්ටැටිස්ටා පුරෝකථනය කළේය.