නීතිමය පාලනයේ ප්‍රගතිය කෙබඳුද?


මිනිසුන්ගේ පාලනය – 2012 දී දිවංගත එල් ද සිල්වා අනුස්මරණ වැඩසටහනේ මුලසුන දරමින් හිටපු විදේශ ලේකම් එච්.එම්.ජී.එස්. පළිහක්කාර, ජාතියකට සමෘද්ධිමත්භාවය රැගෙන එන්නේ මිනිසුන්ගේ පාලනය ද නැතහොත් නීතිමය පාලනය දැයි විවෘතවම ප්‍රශ්න කර සිටියේය. ඔහුගේම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු ශ්‍රී ලංකාවේ පවතින පාලනය නීතිමය පාලනයක් නොවන බවත්, එය මිනිසුන්ගේ පාලනයක් බවත් පවසා සිටියේය. ශ්‍රී ලංකාවට සමෘද්ධිමත්භාවය අත්කර ගන්නට නම් දෙවැනිව කී මිනිසුන්ගේ පාලනය පරාජය කර දැමිය යුතු යැයි ඔහු කීවේය. ඔහු වසර 12 කට ඉහත දී ඉදිරිපත් කළ දෑ ශ්‍රී ලංකාවට අද පවා වලංගු වන්නේය.

ශ්‍රී ලාංකිකයෝ රට තුළ නීතිමය පාලනය ස්ථාපිත කිරීමට සටන් වැද සිටිති. කෙසේ වුවද ඔවුන්ගේ උත්සාහයන් බලයේ ඉන්නා ඇතැම් අය ව්‍යර්ථ කර දැමූහ. නැතහොත් සමාජයේ බලගතු මිනිසුන් නීතිමය පාලනයේ පරමාදර්ශය තමන්ගේ වාසියට විකෘති කර හරවා ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් නීතියට ඉහළින් වැජඹෙන බව සහ එහි දිගු හස්තයට ඔවුන් වෙළා ගැනීමට නොහැකි බවකි.

වරක් සිරගත කළ විට බන්ධනාගාර රෝහලේ හෝ වෙනත් ජාතික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තු වන ඉහළින් වැජඹෙන ජනයා ගැන ප්‍රවෘත්ති වාර්තා බොහෝය. එහිදී ඔවුන් කරනුයේ අධිකරණයේ අභිප්‍රායන් නොතකා ඊට බාධා කිරීමකි. බ්‍රසීලයේ සුප්‍රසිද්ධ දේශපාලන සටන් පාඨයක් ඇත. ඒ ‘ගජ මිතුරන්ට සියලු වාසි, පස මිතුරන්ට හෙවත් විරුද්ධවාදීන්ට නීතියේ කටුක පැත්ත’ යන්නය.

 ශ්‍රී ලංකාවේ, පුරාණයේ නීතිමය පාලනය පැවැති අවස්ථා:-

ශ්‍රී ලංකාවේ පුරාණ රජවරු දශ රාජ ධර්මයන්ට අනුකූලව ජනයා පාලනය කළ බව වාර්තා වේ. අවංක බව, වෛරයෙන් තොර බව සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර බව ඒවායින් ගුණධර්ම තුනකි. ශ්‍රී ලංකාවේ විශිෂ්ට ඓතිහාසික ග්‍රන්ථය වූ මහාවංශයේ ආක්‍රමණික චෝල රජකු වූ එළාර, ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී තම පුතු වසු පැටවකු සිය අස්රියට යටකර මරා දැමීමේ චෝදනාවට වරදකරු කර නීතිමය පාලනය දැඩි ලෙස ක්‍රියාත්මක කළ අයුරු මහා වංශයේ දැක්වේ. එම කතාවට අනුව එළාර රජ මියගිය වසු පැටවාට යුක්තිය ඉටු කරනු වස් තම පුත්‍රයාගේ ගෙල මතින් එම අස්රියේම රෝදය පදවා ඔහු මරා දැමූ බව කියවේ.

ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනවල නීතිමය පාලනය ස්ථාපිත කිරීම පිළිබඳ කිසිදු පැහැදිලි පොරොන්දුවක් නොවීය.

2024 සැප්තැම්බරයේ පැවැති පසුගිය ජනාධිපතිවරණයේ දී, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන තරගකරුවන්ගෙන් කිසිවෙක්, තම ඡන්ද දායකයන්ට, තමන් පාලනයට එක් කළහොත් රට තුළ නීතිමය පාලනයක් ගෙන යන බවට කිසිදු පැහැදිලි ප්‍රකාශයක් නොකළහ. අනුර කුමාර දිසානායක පොරොන්දු වූයේ නව මහජන අභිචෝදකයකු පත්කිරීම ඔස්සේ, නීතිය යටතේ සියලු දෙනාට සමාන ආරක්ෂාව ලබාදෙන පාලනයක් ස්ථාපිත කිරීමටය. දූෂණ විරෝධී නීති අකුරටම ක්‍රියාත්මක කරන බවට ද ඔහු පොරොන්දු වූයේය. රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ (ජනාධිපතිවරණ) ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවෙන් දූෂණය මුළුමනින් තුරන් කර දැමිය හැකි බවත්, එය දකුණ ආසියාවේ අවම දූෂණය පිළිබඳ සිද්ධි ඇතිවන රට බවට පත්කළ හැකි බවටත් පොරොන්දු වූයේය. සජිත් ප්‍රේමදාස ද දූෂණ විරෝධී නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා පහසුකම් සැපයීමටත් ඒ සඳහා විශේෂිත මහජන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමටත් පොරොන්දු වූයේය. එම නිසා මගේ මතය වන්නේ නීතිමය පාලනයට හිමි පිළිගැනීම ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් වෙතින් නිසි ලෙස ලැබී නොමැති බවයි.

නීතිමය පාලනයේ නිර්වචනය

නීතිමය පාලනයේ සරළ නිර්වචනයක්  වන්නේ ආණ්ඩුවේ සිටිනා සියලු දෙනා ඇතුළු  රටේ සියලු දෙනා නීතියට යටත් වන අතර කිසිවෙක් ඊට ඉහළින් නොසිටිති.’ යන්නය. ඒ අනුව සෑම දෙනාම ප්‍රසිද්ධියේ දන්නා නීතියට වගකිවයුතු වන අතර එය සමාන බලපැවැත් විය යුතුය. ස්වාධීනව තීන්දු කළ යුතුය.’ සාධාරණව ක්‍රියාත්මක වන මූලික අයිතීන් ආරක්ෂා කරන, පැහැදිලි නීති සහිත යුක්ති සහගතව විනිවිද පෙනෙන සුළු නීති පද්ධතියක් එයින් ස්ථාපිත වන්නේය. විශේෂයෙන්ම කිසිවකු නීතියට ඉහළින් නොසිටිනා බවත් රජයේ බලය නීතියෙන් සීමා කෙරෙන බවත් එයින් අදහස් වේ.

යුක්තිය පිළිබඳ ලෝක ව්‍යාපෘතිය (The World Justice Project – WJP)  යන සිවිල් සමාජ සංවිධානය, ගෝලීය වශයෙන් නීතිමය පාලනය ශක්තිමත් කිරීම පිණිස 2006 දී ස්ථාපිත කරන ලද්දකි. නීතිමය පාලනයට අනුගත වීමේ වාසි සහගත ලක්ෂණ එයින් හඳුනා​ගෙන තිබේ. ඒ අනුව නීතිමය පාලනයේ බලපෑම මත දූෂණය අඩුවේ. දරිද්‍රතාව සීමා කෙරේ. රෝග මර්දනය වේ. කුදු මහත් සෑම ජනතාවක්ම අයුක්තියෙන් ආරක්ෂා කෙරේ. එය යුක්තියේ, සංවර්ධනයේ, වගකීමෙන් යුතු රජයක, ආරක්ෂාවේ හා මූලික අයිතීන්ගේ පදනම වන්නේය. එය විශ්වීය මූලධර්ම සතරක් මත පදනම් වී ඇති බව යුක්තිය පිළිබඳ ලේක ව්‍යාපෘතිය – WJP පවසයි.

වගවීම සම්බන්ධ වූ පළමු වැන්නෙන්, පැවසෙන්නේ, රජය මෙන්ම. පෞද්ගලික කාරකයන් ද නීතියට වගකිව යුතු බවයි. දෙවැන්නෙන් නීතිවල සාධාරණත්වය, නීති පැහැදිලි විය යුතුය. ඒවා සුප්‍රසිද්ධ විය යුතුය. ස්ථාවර විය යුතුය. සැමට එකසේ අදාළ විය යුතුය යන්න අවධාරණය කෙරේ. එයින් මානව හිමිකම් මෙන්ම දේපළ, ගිවිසුම් සහ පරිපාටිමය අයිතීන් තහවුරු වන්නේය.

තුන්වැන්න ආණ්ඩුවේ විවෘතභාවය හා බැඳේ. නීතිය ඉවහල් කරගන්නා ආකාරය, පරිපාලනය කරන අයුරු, විනිශ්චය කරන ආකාරය, ඊට ඇති ප්‍රවේශය, සාධාරණත්වය හා කාර්යක්ෂම භාවය එහිදී අදාළ වන්නේය. නීතියට ඇති ප්‍රවේශය සහ යුක්තිය පසිඳලීමේ අපක්ෂපාතීත්වය ගැන සිව් වැන්නේදී කතා කෙරේ. මෙම මූලධර්මය යටතේ, යුක්තිය කාලානුරූපව දක්ෂ ලෙස, සදාචාරවත් ලෙස සහ ස්වාධීන නියෝජනය ඔස්සේ ඉටු කළ යුතුය. ඊට ප්‍රවේශ වන්නෝ අපක්ෂපාති විය යුතුය. ඔවුනට ප්‍රමාණවත් සම්පත් තිබිය යුතු වන අතර ඔවුන් සේවය කරන ප්‍රජාවත් පිළිබඳ දැනුවත් විය යුතුය.

යුක්තිය පිළිබඳ ලෝක ව්‍යාපෘතිය (WLP)

 WLP රටවල් 142 ක නීතිමය පාලනය ක්‍රියාත්මක වන ආකාරය වාර්ෂිකව ඇගයුම්කර බලන අතර වසරක් පාසා, සෑම රටක් තුළින්ම සමාජිකයන් දහසකගෙන් පමණ දත්ත ඒකරාශී කර ගනී. සෑම රටකම ජනමත විමසුම් තුළින් හා ඒ ඒ රටවල නීතිමය පාලනය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් වෙතින් එම දත්ත රැස් කිරීම සිදුවේ. එම සමීක්ෂණයට අදාළ විශේෂිත ක්ෂේත්‍ර 9 ක් පවතින අතර නවවැනි කාරණය වන අවිධිමත් යුක්තිය යන කාරණය එම දර්ශකයේ වාර්තාගත කරන දත්තවලට WLP ඇතුළත් කර නොගනී. ආවරණයට ලක්කර වාර්ථාගත කෙරෙන අනෙකුත් කාරණා 8 වන්නේ ආණ්ඩුවේ බලතලවලට ඇති සීමා, දූෂණ විරහිත බව, විවෘත ආණ්ඩුකරණය, මූලික අයිතීන්, නීතිමය පිළිවෙළ හා ආරක්ෂාව. නියාමන ක්‍රියාත්මක කිරීම, සිවිල් යුක්තිය සහ අපරාධ යුක්තිය ආදියයි.

මෙම සාධක 8 තුළ, එකිනෙකට වෙනස් නීතිමය පාලනයට අදාළ කාරණා, සමීක්ෂණයට ලක් කෙරේ. මේ නයින් ගත් කළ WLP විසින් සැකසුම් කරන නීතිමය පාලන දර්ශකය තුළ යුක්තිය පිළිබඳ සමානාත්මතාවට අදාළ සරළ නිර්වචනයෙන් ඔබ්බට ගිය අංග පිළිබඳ සළකා බැලේ. යම් රටකට තවත් නීතිමය පාලනය පවත්වාගෙන යාම පිළිබඳ ගෝලීය ප්‍රමිතිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම්, එරට ඉහත කී කාරණ 44 ට අදාළ කටයුතු වර්ධනය කරගත යුතු වන්නේය. දර්ශකයට අනුව නීතිමය පාලනය හොඳින්ම පවත්වාගෙන යන රටට ලබාගත හැක්කේ ලකුණු 1 කි. නරකම රටට ලැබෙන්නේ ලකුණ 0 කි. 2024 දර්ශකය අනුව හොඳම රට වූයේ ලකුණු 0.9 ක් ලබාගත් ඩෙන්මාර්කයයි. නරකම රට ලකුණු 0.26 ක් ලබාගත් වෙනිසියුලාවයි. ශ්‍රී ලංකාව ලකුණු 0.5 ක් ලබා ගනිමින් මධ්‍යස්ථ ශ්‍රේණිගත කිරීමකට ලක්විය.

ශ්‍රී ලංකාව ලැබූ ස්ථානය

ගෝලීය නීතිමය පාලන දර්ශකයේ 2015 පටන් 2024 දක්වා ශ්‍රී ලංකාව ලැබූ තත්වය පළමු රූපයෙන් ඉදිරිපත් කෙරේ. 2015 සිට 2017/18 අතර කාලය තුළ යම් තරමක මඳ වර්ධනයක්, 0.5 යි. 0.53 දක්වා ශ්‍රී ලංකාව වාර්තාකරගෙන තිබෙන මුත්, එතැන් පටන් ලැබූ ලකුණු ප්‍රමාණයේ ක්‍රමික පහතට වැටීමක් දැක්වේ. 2021 සිට 2023 දක්වා ලබා ඇත්තේ 2015 දී ලද ලකුණු ප්‍රමාණයමය. එහෙත් 2024 දී මැද වර්ධනයක් 0.51 දක්වා ලබා තිබුණ ද එය අගය කළ හැකි තත්වයේ ප්‍රමිතියක් නොවේ. දෙවැනි රූප සටහනේ දැක්වෙන්නේ 2024 දී තවත් රටවල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකාව අත් කරගත් තත්වයයි. 2023 හා සසඳා බැලූ විට 0.50 සිට 0.51 දක්වා ලැබූ මඳ වැඩිවීම ශ්‍රී ලංකාවට 77 වැනි ස්ථානයේ සිට 75 වැනි ස්ථානයට පැන ගන්නට උපකාරී වී තිබේ. එහෙත් මුලින් කී පරිදි එය ආඩම්බර වීමට තරම් වූ ජයග්‍රහණයක් නොවේ. එය ලෝකයේ අන්ත නරක රටවල් අතර නොසළකා හැරිය හැකි ප්‍රගතියකි.

 තුන්වැනි රූප සටහනෙන් ඉදිරිපත් කෙරෙන්නේ, 2024, නීතිමය පාලනය දර්ශකයේ ඉහළම ළකුණු ලැබූ රටවල් 10 යි. නීතිමය පාලනය ක්‍රියාත්මක කිරීම අතින් නෝර්දික රටවල් බොහෝ දුරට හොඳම කාර්ය සාධනය ඉටුකර ඇති බව එයින් පෙනී යයි. එයින් අදහස් කෙරෙන්නේ ශ්‍රී ලංකාවට නීතිමය පාලනයේ වර්ධනයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් බොහෝ දුර ගමනක් යාමට සිදුව ඇති බවයි.

2024 කැපී පෙනෙන ප්‍රගතියක් නැත

4 වැනි රූපයෙන් ඉදිරිපත් කෙරෙන්නේ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර 8 කින් 2024 දී, එහි තත්වය 2023 හා සැසඳූ විට අත් කරගෙන ඇති ප්‍රගතියයි. 360. ක අවකාශයක් තුළ එය අද දක්වා තිබේ. එහි ළකුණු ප්‍රමාණය වසර දෙකේදීම එක හා සමාන බැවින් එම අවුරුදු දෙක ඇතුළත කැපී පෙනෙන වෙනසක් සිදුවී නොමැත. සියලුම අනුශාංගික සාධක අතර ශ්‍රී ලංකාව වාර්තා කර ඇත්තේ ඉතා දුර්වල කාර්ය සාධනයකි. එහෙත් අපරාධවලින් තොර බව සහ සිවිල් ගැටුම් වලින් තොර බව යන කාරණු ගැනෙන නීතිමය පිළිවෙල හා ආරක්ෂාව යන කාරණා යටතේ පිළිවෙලින් 2023 හා 2024, 0.8 හා 0.92 යන ඉහළ ළකුණු වාර්තා කර තිබේ. කෙසේ  වුවද ආරක්ෂාව නැවත ඇතිකර ගැනීම සඳහා ප්‍රචණ්ඩතාව භාවිත කිරීම යන උපවර්ගීකරණයේ දී ශ්‍රී ලංකාව ලබා ඇත්තේ ඉතා අඩු ලකුණු ප්‍රමාණයක් වූ 0.33 කි. තම පෞද්ගලික ගැටුම්වල දී රටවැසියන් ප්‍රචණ්ඩතාව භාවිත කිරීමේ නැඹුරුවෙන් පෙනී යන්නේ ජනයා නීතිය තම සියතට ගැනීමේ ප්‍රවණතාවකි. තමන්ට යුක්තිය ඉටුවේ යයි පවතින නෛතික පද්ධතිය තොර ඔවුන්ගේ විශ්වාසයක් නොමැතිවීම නිසා එසේ සිදුවේ.

 උප වර්ගීකරණයන්ට ලැබුණු ලකුණු

 ඉහත සඳහන් කළ පරිදි අපරාධවලින් තොර බව සහ සිවිල් යුද්ධවලින් තොර බව යන උප වර්ගීකරණයන්ගේ හැරුණු කොට අනෙක් සියලු උපවර්ගීකරණයන් තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධකය ඉතා දුර්වලය. ස්වාධීන විගණනයේ කාර්ය භාරයත්, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ විෂමාචාරයන් උදෙසා සම්බාධක පැනවීමේ කාර්යභාරයන් ඉතා දුර්වලය. එසේ වූයේ මෑතක දී, රාජ්‍ය කටයුතුවල දී සිදුවන දූෂණය අවධාරණයට ලක් කිරීම සඳහා ස්වාධීන විගණන කාර්යාලයක් පිහිටුවා තිබියදීය.

විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පිළිබඳ තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව හුදෙක් ඒවා ගොනු ගත වීමෙන් පෙනී යන්නේ විගණන කාර්යාලයට දූෂණය මර්දනය කිරීම සඳහා ප්‍රමණවත් බලතල නොමැති බවකි. ව්‍යවස්ථාදායකය තුළ දූෂණය සම්බන්ධයෙන් ලැබූ ලකුණු 0.31 න් ශ්‍රී ලංකා රජය ඉටුකර ඇති දුර්වලතම කාර්ය සාධනය පෙන්නුම් කරයි. සිවිල් යුක්තිය හා අපරාධ යුක්තියට අදාළවද ලැබී ඇත්තේ පිළිවෙළින් 0.45 හා 0.42 යන දුර්වල ලකුණු ප්‍රමාණයකි. වර්ධනය උදෙසා ප්‍රමුඛතාවව ලබා දීමේ දී මෙම අංශ දෙකේ ද අතිශය වැඩි වර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාව පවතී.

මිනිසුන්ගේ පාලනය පරාජය කර දැමීම:-

නීතිමය පාලනය පිළිබඳ ගෝලීය දර්ශකයේ ශ්‍රී ලංකාව ලැබූ ලකුණු ප්‍රමාණයෙන් පැහැදිලි වන්නේ, මෙරට තුළ තවමත් පවතින්නේ නීතිමය පාලනයකට වඩා මිනිසුන්ගේ පාලනයක් බවයි. දූෂණයට විරුද්ධව විවෘත යුද්ධයකට අභියෝග කර ජනතාවට යුක්තිය ඉටු කිරීමට හා සමාජයේ අසාමාන්‍ය වරප්‍රසාද බුක්ති විඳි පුද්ගලයන් නැතහොත් බලවත් පන්තිය තුරන් කිරීමටත්, ප්‍රකාශ නිකුත් කර ඇති අනුර කුමාර දිසානායක රජයට, විශේෂයෙන් නීතිමය පාලනය පවත්වා ගැනීම අතින් මේවා අතින් බැරෑරුම් කාරණාවක්ය. නීතියේ දිගු හස්තය ඉහත කී බලවත් පුද්ගලයන් වෙත දිගු වූ විට මෙකී උදවිය නීතිය ආපසු හැරවීමට සමත් වී තිබේ. ඔවුන් පාලනය කිරීමෙන් තොරව රට තුළ නීතිමය පාලනයක් බිහි වන්නේ නැත.