අතු පතර පොකුරු ලෙස සැදුනු මී ගෙඩි
- සමහරු මී ඇට අහුලා බෙහෙත් බඩු කඩවලට දෙනවා. කිලෝ එකක මිල රුපියල් සීයක්
- මී තෙල් අඩංගු කෑම වර්ග ආහාරයට ගැනීමෙන් කොලොස්ටරෝල් වැනි තත්ව ඇති නොවන බව ආයුර්වේදයේ පිළිගැනීමයි
- කඩෙන් ගන්නවා නම් මී තෙල් බෝතලයක් රුපියල් එක්දහස් පන්සියයක්, දෙදහසක් පමණ වෙනවා
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
මේ උදාව ඇත්තේ මී මල් පිපී මනාව ඵල හටගන්නා කාලයයි. මී මල් මනා සුගන්දයකින් යුතුවේ. ගම්මැදි මාර්ග දෙපස වැවුණු හැම මී ගසකම පාහේ අතු ඉති අග මී ගෙඩි පොකුරු ලෙස දිස්වේ. වැව් බැම්මේ මෙන්ම වෙල් ඉහත්තාවේද මී ගස් දැකගත හැකිය. වසරේ සමහර අගෝස්තු, සැප්තැම්බර් මාස වන විට මී මල් පිපී ඵල හටගැනීම ඇරඹෙයි. මී ගස අනාදිමත් කාලයක පටන් මෙරට ජන ජීවිතය හා බැඳී පවතින්නකි. මෙරට ගොවිතැන් සම්ප්‍රදාය සහ ආහාර සංස්කෘතිය සමග මී ගසට ඇති සහසම්බන්ධතාව අවියෝජනීය එකකි. නුවර කලාවියේ සාම්ප්‍රදායික ගම්මැදි ආශ්‍රිතව මී ගස් යට වවුලන් කා වැටෙන මී ඵල අහුලන ලියන්ගේ දසුන මෙකලෙහි සුළභ වුවකි.
සත් කෝරළයේ ගල්ගමුව, ඇහැටුවැව, මීගලෑව ආදි ප්‍රදේශවලද මී ගෙඩි අහුලන ළියන් බොහෝ සේ දැකගත හැකිවේ. මළ හිරු බැසයන සැදෑවේත් හිරු පායා එන හිමිදිරියේත් මේ දසුන සුපුරුදු වුවකි. රාත්‍රී අඳුරේ පවා බිම වැටෙන මී ඵල ඇහිදීමට යුහුසුළු වෙති. සතුන්ගේ ආහාරයක් ලෙස පමණක් නොව මිනිස් ආහාර පිළියෙළ කරගැනීමට ද මී මල් සහ ගෙඩි භාවිත වේ.
වියළි මී ගෙඩි මගින් සාදාගනු ලබන මී තෙල් විවිධ වෑංජන රස කිරීමට යොදා ගැනේ. බොහෝ දෙනෙක් නොදන්නා මුත් මී ගසේ මල්වලින් කැවුම් හා හැලප සාදනු ලබන බව සඳහන්වේ. මී තෙල් යොදා පිසින ආහාර විවිධ රෝගාබාධ සඳහා දිව ඔසුවක් බව පැවසේ. මී තුරු යට දහස් ගණනින් වැටෙන මී ගෙඩි අහුලා අව්වේ මනා සේ වියළා වනේ කොටා තෙල් බේරාගැනීම අතීත සම්ප්‍රදාය වී තිබේ. එහෙත් වත්මෙනෙහි යන්ත්‍රාණුසාරයෙන් මී තෙල් සිඳ ගැනීමට ගැමියෝ උත්සුක වෙති.
සත්කෝරලේ, මීගලෑව පදවිගම ගම්මානයේ එච්.එම්. කුසුම් මහත්මිය ද මෙසේ වසරකට වරක් උදාවන මී මල් වාරෙන් නිසි ඵල ලබන්නියකි. වැටෙන මී ගෙඩි අහුලා, වියළා පිරිසුදුවට තෙල් ටිකක් සිඳ ගැනීමට ඇය වෙහෙසෙන්නීය. ඇය පැවසුවේ මෙවැනි අදහසකි.
“අපි හවසට තමයි මී ගෙඩි අහුලන්නේ. සමහරු උදේටත් අහුලනවා. මේවා අහුලලා හොඳ පදමට වේලන්න ඕන. ඉස්සර නම් කෙරුවේ වන්ඩුවේ දාලා තම්බලා, වනේ දාලා කොටලා තෙල් බේරගත්ත එක. දැන් නම් ඉතිං හොඳට වේළුනාට පස්සේ මෝලකට දීලා තෙල් ටික හිඳගන්නවා. අපි මේ තෙල් වෑංජනවලට දානවා. බටු වෑංජනේකට එහෙම දැම්මහම හරිම රසයි. ඒ වගේම ගුණයි. අපේ අම්මලා මී මල්වලින් හැලප එහෙම හදලා තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම කෑම හදන්න දන්න අය දැන් මේ ගම්මැදි වලත් නෑ
මී තෙල් අඩංගු කෑම වර්ග ආහාරයට ගැනීමෙන් කොලොස්ටරෝල් වැනි තත්ව කිසිසේත් ඇති නොවන බව ආයුර්වේදයේ පිළිගැනීමයි. මී ගසෙන් ලබාගන්නා තෙල් සිඳීමේදී ඉතිරිවෙන පුන්නක්කු මීමුරු ලෙස හඳුන්වන අතර ඒවා සත්ව ආහාර වශයෙන් ද, ගොයමට යොදන තවත් පොහොරක් ලෙස ද අතීතයේ භාවිත කොට ඇත. මී ගස ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වැවෙන ශාකයක් ලෙස සඳහන් කළ හැකිය. දැනට මී ගස පිළිබඳ කෙරී ඇති පර් යේෂණ අනුව මෙහි වර්ග හතක් ඇති බව හඳුනාගෙන ගෙන තිබේ.
මී ඇට ආහාරයට ගත් වවුලන් හෙළන වසුරු, කුඩා ගිනි පෙට්ටි පියනක් පමණ වූ ප්‍රමාණයක යූරියා කිලෝ තුනක පමණ රසායනික සංඝටක අඩංගු වන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. එහෙයින්ම මෙරට පරිසර රක්ෂණය කෙරෙහි උනන්දු වූ සෑම පාලකයකුම මී ගස ආරක්ෂා කිරීමෙහිලා කටයුතු කොට ඇති බව අතීත මූලාශ්‍ර මගින් පෙන්වා දේ. දේවානම්පියතිස්ස රජු රට වැසියනට පණවා තිබූ අණපනත් අතර වෘක්ෂලතාදිය කැපීම තහනම් කර තිබු බව සඳහන්වේ. එහිදී මී ගස රජුගේ විශේෂ අවධානයට ලක්වු ශාඛයක් ලෙස සඳහන්වේ.
එහෙයින්ම එකල සරුසාර කෙත් බිම් ආශ්‍රිතව මී වැනි වටිනා ශාක වැවීම අනිවාර්ය සාධකයක් වී තිබේ. මී ගසේ කොළ වැටී දිරාපත් වු විට ද ස්වාභාවික පොහොරක් ලෙස පොළොවට එකතු වන හෙයින් අපගේ පැරැන්නන් මී ගස හඳුන්වා ඇත්තේ “පොහොර ගස” ලෙසිනි. ගොයමට හානි කරන පැළ කීඩෑවන්, ගොයම් මැස්සන් සහ වෙනත් සතුන් වවුලන් විසින් ආහාරයට ගන්නා අතරම මී ගෙඩි හා මල් ආහාරයට ගැනීමට පැමිණෙන කුරුල්ලන් ද මෙම කෘමීන් ආහාරයට ගත්තේය. මේ හේතුවෙන් ස්වාභාවිකවම පලිබෝධ හානි වැළකී ගියේ ය.
එහෙයින්ම මී ගස කපා විනාශ කිරීමට ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් උත්සුකව ඇත්තේ මෙරට ස්වයංපෝෂිත ජීවන සම්ප්‍රදාය කඩතොළු කරමිනි. කොස් පමණක් නොව මී වැනි වෘක්ෂලතාදිය මගින් ද මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා සැලසෙන සේවාව අතිමහත් බව සුදු පාලකයන් මනාව වටහා ගෙන තිබු වග ඉන් සනාථ වේ.
මී ඵල ඇහිදීමෙන් වත්මනෙහි ගැමි ලියන් ලබන ප්‍රයෝජන පිළිබඳව මීගලෑවේ ධම්මිකා මාරසිංහ මහත්මිය මෙසේ කරුණු කීවාය.
“සමහරු මී ඇට අහුලලා බෙහෙත් බඩු කඩවලට දෙනවා. කිලෝ එකක් රුපියල් සීයකටද කොහෙද ගන්නවලු. අපි නම් මේවා හිඳලා ගෙදර ප්‍රයෝජනයට ගන්නවා. හන්දිපත් අමාරුවට එහෙම මී තෙල් හොඳ බෙහෙතක්. කැඩුම් බිදුම්වලට එහෙමත් මී තෙල් ගන්නවනේ. මේ ගම්මැදි ගෙවල්වල මී තෙල් ටිකක් නෑ කියන්නේ ලොකු අඩුවක්. ඒ හින්ද හැමෝම මී ගෙඩි ටිකක් අහුලගෙන තෙල් ටිකක් හිඳ ගන්න බලන්නේ. පොල් තෙල්වලට වැඩිය මී තෙල් දාලා හදන වෑංජන හරි රසයි. කඩෙන් ගන්නවා නම් මී තෙල් බෝතලයක් රුපියල් එක්දහස් පන්සියයක්, දෙදහසක් විතර වෙනවා. ඒ තරං වටිනවා.”
හෙළ වෙදකම සඳහා ද, ආයුර්වේද වෛද්‍යක්‍රමය සඳහා ද මී ගස ප්‍රයෝජනවත් වේ. මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන පංචාංගය එහිදී ඖෂධ සෑදීමට යොදා ගැනේ. මී තෙල් වේදනා නාශකයක් ලෙස මනා සහනයක් සලසන වග ගැමියෝ අත්දැකීමෙන් දනිති. මී තෙල් පහන නෙතට ප්‍රිය දසුනකි.
මීගලෑව, පදවිගම ගම්මානයේ ජේ.ඒ. ආරියවතී මහත්මිය මී ගස හා බැදුනු ජීවන සම්ප්‍රදාය හා ආර්ථික වටිනාකම් පිළිබඳව මෙසේ පැවසුවාය.
“මී තෙල් හින්දට පස්සේ ඉතිරි වෙන මීමුරුවලින් ගෙවල්වල දුම් අල්ලන සිරිතක් ඒ කාලේ තිබුණා. ඒකෙන් ගෙදර පරිසරේ තියෙන විෂබීජ වීනාශ වුණා වගේම ස්වාභාවිකවම අවට සුවඳවත් වුණා. මැසි මදුරුවන් පාලනය වුණා. දරුවකු අලුත ඉපදුනාම මේ විදිහට ගේ අවට දුම් අල්ලන එක අපේ ගෙවල්වල සිරිතක් විදිහට කරපු දෙයක්. මී තෙල් පහන් පත්තු කරපු එකත් හොඳට හිතලා බලලා කරපු දෙයක්. මී පහන් දැල්ල ඇස් දෙකට සනීපයි. ඒක ඇස්වල දැවිල්ල අඩු කරන්න ලොකු හේතුවක් වුණා.”
මෙවැනි මිල කළ නොහැකි වටිනාකම් අපමණකින් යුතු මී ගස පිළිබඳව වත්මනෙහි ඇති අවධානය ඉතා අල්ප වුවකි. මතු යම් දවසක මෙරට කෘෂිකාර්මික ජීවන සම්ප්‍රදාය නැවත යථාවත් කිරීමට කවරෙකු හෝ අදහස් කරන්නේ නම් එහිදී මී ගසෙන් ලබාගත හැකි ප්‍රයෝජන කෙරෙහිද අවධානය යොමු කිරීම ඉතා අගනේය. එහිදී ඉන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කිරීම ද ඉතා වටිනේය.
එප්පාවල, අධිරාණිගම ගම්මැද්දේ පද්මිණි ගමගේ මහත්මිය මී ගහෙන් ලබන ඵල පිළිබඳව තවත් කරුණු කීවාය.
“අපේ වෙද මහත්වරු රක්තවාත, කැඩුම් බිදුම්, චර්ම රෝග, සර්පවෙදකම, උගුරේ අමාරුව, වාතරෝග, අතීසාරය, මුත්‍ර ආසාදන එහෙම හොඳ කරන්න මී ගසෙන් ගත්ත කොටස් පාවිච්චි කෙරුවා. මී තෙල් කැඩුම් බිදුම් වෙදකමට නැතිවම බැරි බෙහෙතක්. හමේ ඇතිවෙන දද, කුෂ්ඨ සුව කරන්නත් මී තෙල් පාවිච්චි කෙරුවා. අදටත් අපේ ගම් ගෙවල්වල මී තෙල් ටිකක් පරිස්සමට තියාගන්නවා. අපිත් ඉතිං මෙහෙම හරි මී ගෙඩි ටිකක් අහුලගෙන තෙල් ටිකක් අහුල ගන්න බලනවා.”
මග දෙපස සැදුනු විසල් මී ගසක්
අමු මී ගෙඩි
බිම වට මී ගෙඩි අහුලන ගැමි ළියන්
අව්වේ මී ඵල වියළන අන්දම