කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ (CLTMC) නව පරිපාලනය, 2024 ඔක්තෝම්බර් මාසයේදී නිල වශයෙන් පරිපාලනය භාරගත් දා සිට, මූල්‍යමය වශයෙන් මෙන්ම ක්‍රියාකාරී වශයෙන් ද එහි ඉලක්ක ඉක්මවා ගොස් ඇති අතර, ආදායම සියයට 31 කින් වැඩි වී තිබේ. කොළඹ පිහිටි නෙළුම් කුලුනේ පැවති මාධ්‍ය හමුවකදී CLTMC සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් යන මහත්වරු මෙම අනාවරණය කළහ.
“හරියටම වසරකට පෙර අපි පරිපාලනය භාරගත් දා සිට, නව කළමනාකාරිත්වය යටතේ CLTMC කැපී පෙනෙන මූල්‍ය ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. 2025 අගෝස්තුවෙන් අවසන් වන කාලය සඳහා ආදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.43 දක්වා ළඟා වූ අතර, එය 2024 එම කාලයට සාපේක්ෂව සියයට 31 ක වැඩිවීමකි. දළ ලාබය ශ්‍රී ලංකා රුපියල් මිලියන 786.86 දක්වා සියයට 77 කින් වර්ධනය වූ අතර, ආන්තිකය සියයට 42 සිට සියයට 55 දක්වා වැඩිදියුණු විය. අපගේ බදු ගෙවීමට පෙර ලාබය (PBT) සියයට 192 කින් ඉහළ ගොස් ශ්‍රී ලංකා රුපියල් මිලියන 539.93 ක් වූ අතර, ආන්තිකය සියයට 18 සිට සියයට 38 දක්වා ඉහළ ගියේය. මෙම ශක්තිමත් කාර්ය සාධනය විනයගරුක කළමනාකරණය, විචක්ෂණශීලී තීරණ ගැනීම සහ ඵලදායී පිරිවැය පාලනයන් පිළිබිඹු කරයි,” යනුවෙන් පැවසූ ශිරන්ත පීරිස් මහතා රටේ සහ දකුණු ආසියාවේ උසම ස්වයං-සහායිත ව්‍යුහයේ අමුත්තන්ට සපයනු ලබන කාර්යක්ෂමතාව සහ සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ද අල්විස් සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන නව කළමනාකරණයක් යටතේ 2024 ඔක්තෝබර් මාසයේ සිට පවතීන කොළඹ නෙළුම් කුලුන සමාගම, අද වන විට, CLTMC දක්ෂ හා කැපවූ කාර්ය මණ්ඩලය 120 කට වැඩි පිරිසකින් සමන්විත වන අතර, ඔවුන් අමුත්තන්ට සහ කොටස්කරුවන්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද සභාපති පීරිස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
“නව පරිපාලනය පත්වන විට තිබුණ වැටුපටම තමයි මේ සේවකයො තවමත් වැඩ, නිශ්චිත පැය ගණනක සේවයක් නෙමෙයි කරන්නෙ. තමන්ගෙ වැඩේ ඉවර වෙනකම් කැපවීමෙන් වැඩ කරන සේවක මණ්ඩලයක් ඉන්නවා. රුපියල් මිලියන 14,000ක් මේක හදන්න රටේ මුදල් වැය වෙලා තියෙනවා. ඒක පියවා දැමීමේ වගකීම හැම කෙනෙක්ම තේරුම් අරගෙන මේ පොළවෙන් ඉහළම වාණිජමය වටිනාකම ලබා ගන්න කල්පනා කරමින් සැලසුම් කරමින් වැඩ කරනවා.’’ මාධ්‍ය විසින් සේවක වැටුප් සහ වියදම් සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස මහාචාර්ය ද අල්විස් පැවසීය. එසේම නියමිත වැටුප් ගෙවන අතරේම තමා මේ වෘත්තියේ නියැලෙන්නේ වැටුප් නොලබා බවත්, තමන්ට ඇති එම හැකියාව සියලුම පුරවැසියන්ට නැති වුණත්, තමන්ගේ ප්‍රමාණයෙන් සෑම පුරවැසියකුම යම් කැප කිරීමක් සිඳු කිරීම වැදගත් වනු ඇති බවත් රට මුහුණ දී ඇති අභියෝගයන් ජය ගැනීමට එය වැදගත් වනු ඇති බවත් පෙන්වා දෙමින් සභාපති පීරිස් මහතා පෙන්වා දුන්නේය.
නව කළමනාකාරිත්වය දකුණු ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතික, විනෝදාස්වාද සහ ත්‍රාසජනක ගමනාන්තයක් ලෙස නෙළුම් කුලුන ස්ථානගත කරන අතරම, ආරක්ෂාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, නරඹන්නන්ගේ අත්දැකීම් සහ මූල්‍ය කාර්ය සාධනය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. CLTMC ජාත්‍යන්තර ආරක්ෂාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, මූල්‍ය විනිවිදභාවය සහ නවෝත්පාදන ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර, උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, කොළඹ නෙළුම් කුලුන සමාගම, නෙළුම් කුලුන දකුණු ආසියාවේ අධ්‍යාපනය, තාක්ෂණය සහ විනෝදාස්වාදය සඳහා ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
“නෙළුම් කුලුන වටා ඇති ජාතික පර්‌යේෂණ කාර්යාලය සමඟ හවුල්කාරිත්වයක් මගින් ඉදිරිගාමී ඩිජිටල් ව්‍යාපෘති මාලාවක් ආරම්භ කර ඇත. පළමුව මුද්‍රිත පිටපතක සිට ඩිජිටල් ටිකට්පත් දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සංශෝධනය වී ප්‍රතිස්ථාපනය කර ඇත. වැඩිදියුණු කළ මූල්‍ය විනිවිදභාවය, සිදුවීම් ලුහුබැඳීම සහ ගුණාත්මකභාවය කුලුනට පැමිණෙන සියලුම අමුත්තන්ට පහසු සහ බාධාවකින් තොරව ඇතුළුවීමේ අත්දැකීමක් ලබා දෙමින් ඇත. ස්මාර්ට් ඩිජිටල් කුලුනු වාහන නැවැත්වීමේ විසඳුමක් සංවර්ධනය වෙමින් පවතින අතර ඉදිරි මාස දෙක තුළ එය ක්‍රියාත්මක වනු ඇතැයි අපි සියලු දෙනා බලාපොරොත්තු වෙමු” යනුවෙන් පීරිස් මහතා පැහැදිලි කළේය.